13. 7.
සමාපන්නෝ අස්සාදෙති කථා
[‘පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදෙති - ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. ඒ ධ්‍යානලාභී පුද්හල එය ආස්වාද කෙරෙයි’ යනාදි වචන නිසා ‘සමවන්නේ ආස්වාද කෙරේ යයි ද, ඔහුගේ ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වේ’ යයි ද අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ අස්සාදෙති’ කථා එයි.]
1. ස. පු: සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය (ධ්‍යානාශාව) ධ්‍යානාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ඒ වේදනාව විඳුනේ වේ ද? ඒ සංඥායෙන් ඒ සංඥාව දන්නේ වේ ද? ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද? ඒ චිත්තයෙන් ඒ චිත්තය චින්තන කෙරේ ද? ඒ විතර්‍කයෙන් ඒ විතර්‍ක තර්‍කණ කෙරේ ද? ඒ විචාරයෙන් විචාරය විචාරනා කෙරේ ද? ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායනා කෙරේ ද? ඒ ස්මෘතියෙන් ඒ ස්මෘතිය ස්මරණ කෙරේ ද? ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දනී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ධ්‍යානතිකාන්තිය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, ධ්‍යානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ධ්‍යානනිකාන්තිය අකුශල යි. ධ්‍යානය කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛී භාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූර ස්ථාන යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
6. ප. පු: ‘සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ ඒ දැහැන ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ එය ආස්වාද කෙරෙයි. හේ ඒ කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙ’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි.
(ධ්‍යානලාභියා ධ්‍යානයෙන් නැගීසිට ධ්‍යානාස්වාද කෙරෙයි. සමවත්තුළ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන නොවෙයි. එහෙයින් අසාධකයි.)
සමාපන්නෝ අස්සාදෙතිකථා නිමි.