13. 1.
කප්පට්ඨකථා
[“සඞ්ඝං සමග්ගං හෙත්වාන කප්පං නිරයම්හි පච්චති” යනු ගෙන සඞ්ඝභේදක කපක් පුරා නිරයෙහි සිටුනේ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට කප්පට්ඨකථා එයි.]
1. ස. පු: කල්පස්ථයා (සම්පූර්ණ මහා) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කල්පයත් සිටුනේ වේ ද? බුදුහු ද ලොව උපදනාහු වෙත් ද? (සඞ්ඝභේදය බුදුන් ඇති කලැමැ වන බව හැඟවී.)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කල්පස්ථයා කල්පයක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කපක් හටගනී. ඒ හා මැ සඞ්ඝයාත් බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කප හටගන්නා හා මැ කල්පස්ථයා කල්පස්ථායී කර්ම කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කල්පය හටගන්නා හා මැ කල්පස්ථ පුද්ගලයා කලුරිය කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතකල්පය සිටුනේ වේ ද? අනාගතකල්පය සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෙකපක් සිටුනේ වේ ද? තෙකපක් සිටුනේ වේ ද? සිවුකපක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා කප දන කලැ කොහි යේ ද?
ප. පටිඤ්ඤා: අන්ය ලෝකධාතුවකට යෙයි.
ස. අනු: මළේ යේ ද, නොහොත් අහසින් යේ ද?
ප. පටි: මළේ යෙයි.
ස. අනු: කල්පස්ථායී කර්මය අපරාපරිය වේදනීය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අහසට යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (භාවනාමය ඍද්ධි නැති හෙයින් ප්රතික්ෂිප්තයි.)
9. ස. පු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජාතිඍද්ධි ඇතියි ප්රතිඥාතයි.)
ස. අනු: කල්පස්ථයා විසින් ඡන්දිද්ධිපාද භාවිත වේ ද, වීරියිද්ධිපාද භාවිත වේ ද, චිත්තිද්ධිපාද භාවිත වේ ද, වීමංසිද්ධිපාද භාවිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (ජාතිඍද්ධිපාද ඇති කල්හි ඍද්ධිපාදභාවනා කුමටැයි ප්රතික්ෂිප්තයි.)
10. ප. පු: ‘කල්පස්ථයා කපක් සිටුනේ යැ’යි නො කියයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“ආපායික වූ නේරයික වූ කල්පස්ථායී වූ වර්ගරත වූ අධර්මස්ථ වූ සඞ්ඝභේදක පුද්ගලයා යෝගක්ෂේමයෙන් පිරිහෙයි. සමග සඟුන් බිඳ කපක් දවස් නිරයෙහි පැසේ” යයි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් කල්පස්ථයා කපක් සිටුනේ යැ. (කල්පය අසූවට බෙදා එයින් භාගයක් පමණ කල් නිරයෙහි සිටී. ඒ නිරයෙහි ආයුෂ්කල්පය සඳහා කියුයෙන් අසාධක ය.)
කප්පට්ඨකථා නිමි.