12. 9.
දුග්ගතිකථා
[දුර්‍ගතිය හා දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය අරමුණු කොට ඇති තෘෂ්ණාව හා දෙක මැ දුර්‍ගති විසින් ගෙන නැවත ඒ විභාග නො කොට - ඒ වෙන වෙන නො ගෙන අවශේෂයෙන් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’යැ යි උත්තරාපථක නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ ඒ වාද බිඳුනට දුර්‍ගතිකථා එයි.]
1. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් කෙරෙහි ඇලේ ද ... අමනුෂ්‍ය ස්ත්‍රිය හා සමග, තිරිසන්ගිය ස්ත්‍රිය හා සමග, නාගකන්‍යාව හා සමග මෙවුන්දම් සෙවුනේ වේ ද? එළුතිරෙළුවන් පිළිගන්නේ වේ ද, කුකුළුහූරන් පිළිගන්නේ වේ ද, ඇත් අස් වෙළඹුන් පිළිගන්නේ, තිත්වටු වටුවන් පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට (තොප මතයෙහි) දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලේ ද ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් තිත්වටුවටුවන් මයූරකපිඤ්‍ජරයන් පිළිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙන්නේ වේ ද? නො මිනිස් මාගමක හා තිරිසන්ගිය මාගමක හා නාමෙණෙවියක හා ද මෙවුන්දම් නො සෙවුනේ වේ ද? එළු බැටළු නො පිළිගන්නේ වේ ද? කුකුළුහූරු නො පිළිගන්නේ වේ ද? ඇත්ගවඅස්වළඹුන් නො පිළිගන්නේ වේ ද? ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද ... තිරිසන් යොනට එළැඹෙන්නේ වේ ද ... ප්‍රේතවිෂයට එළඹෙන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි. (මෙයින් දුර්‍ගතිප්‍රහාණය හෝ දුර්‍ගතිගාමීතෘෂ්ණාප්‍රහාණය දැක්වූයේ වෙයි. දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය කෙරෙහිවූ තෘෂ්ණාප්‍රහාණය නොවේ. එහෙයින් අසාධකයි.)
දුර්‍ගතිකථා නිමි.