11. 6.
සමාධිකථා
[ඒකචිත්තක්‍ෂණයෙහි උපන් ඒකාග්‍රතාව සමාධානාර්‍ත්‍ථයෙන් ‘සමාධි වෙති’යි නො ගෙන චිත්තසන්තතිය සමාධි නමි’යි ලබ්ධි ගත් සර්‍වාස්තිවාද උත්තරාපථක නිකායවාසීන් ගේ ලබ්ධි බිඳුනට සමාධිකථා එයි.]
1. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනාගත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ අනාගතය නූපන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම් අනාගතය නූපන්නේ වී නම්,
අනු. පා: භවත “චිත්තසන්තති සමාධි වේ” යයි නො කියැයුතු මැ යැ.
4. ප. පු: සමාධි ඒකචිත්තක්‍ෂණික වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ සමාපන්න(සමාහිත) වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. අනු: ශ්‍රෝතවිඥානසමඞ්ගී වූයේ ... ඝ්‍රාණවිඥානසමඞ්ගී වූයේ ... ජිහ්වාවිඥානසමඞ්ගී වූයේ ... කාය විඥානසමඞ්ගී වූයේ අකුසලචිත්තසමඞ්ගී වූයේ ... රාගසහගත ... ද්වේෂසහගත මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසමඞ්ගී වූයේ සමාපන්න වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගසහගත ... ද්වේෂසහගත ... මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: ‘චිත්තසන්තති සමාධි වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ඇවැත්නි නිගණ්‍ඨයෙනි, මම වනාහි කයින් නො සැලෙනුයෙම්, බස් නො බණනුයෙම්, සත් දවරැයක් මුළුල්ලෙහි ඒකාන්තසුඛ විඳිනුයෙම් වාස කරන්නට පොහොසත්මි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘චිත්තසන්තති සමාධි වෙයි.’
සමාධිකථා නිමි.