10. 3.
පඤ්චවිඤ්ඤාණ සමඞ්ගිස්ස මග්ගකථා
[‘චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි’ යන සූත්‍රය ඇසිරි කොට ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණ සමඞ්‍ගිස්‍ස මග්ගකථා’ එයි.]
1. ස. පු: පඤ්චවිඥානසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන, ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යායලම්බන, අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන, නානාවස්තුක නානාලම්බන වූවාහු, අන්‍යො’න්‍යගෝචරවිෂය අනුභව නො කෙරෙත් නු සමන්නාහාර නැති වැ නූපදිත් නු? මනසිකාර නැති වැ නූපදිත් නු? අව්‍යාකීර්‍ණ වැ නූපදිත් නු? පෙරපසු නො වැ නූපදිත් නු? අන්‍යෝන්‍යයනට සමනන්තර වැ නූපදිත් නු? ... පඤ්චවිඥානයෝ ආභෝග (ප්‍රත්‍යවේක්‍ෂා) නැත්තාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ අනාභෝග වෙත් නම්,
අනු. පා: ‘පඤ්චවිඤ්‍ඤාණසමන්නාගතයහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥාන සමන්‍වාගතයහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත, “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත අරමුණු ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
7. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ වේදනාව ඇරැබැ සංඥාව ඇරැබැ චේතනාව ඇරැබැ චිත්තය ඇරැබැ චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.