1. 3.
බ්‍රහ්මචරියකථා
[මාර්‍ගභාවනා යැ ප්‍රව්‍රජ්‍යා යැ යි බ්‍රහ්මචර්‍ය්‍යවාසයෝ දෙදෙනෙකි. එහි ප්‍රව්‍රජ්‍යාව දෙවියන් කෙරෙහි නැත. මාර්‍ගභාවනාව අසංඥසත්ත්‍වයන් තබා තෙසු දෙවියන් කෙරෙහි ප්‍රතිෂේධ නො වෙයි. එතෙකුදු වුව සම්මිතිය නිකායවාසිහු පරනිර්මිතවශවර්ති දෙවියන් පටන් මතු මතු දෙවියන් කෙරෙහි මාර්‍ගභාවනා බ්‍රහ්මචර්‍ය්‍යවාසය කැමැති නො වෙති. උන්ගේ වාද බිඳුනට බ්‍රහ්මචර්‍ය්‍යකථා එයි.]
1. ස. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම දෙවියෝ ජඩ වෙත් ද? වහතොලු වෙත් ද? අවිඥ වෙත් ද? හස්තමුද්‍රායෙන් බණනාහු වෙත් ද? සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල නො වෙත් ද? හැම දෙවියෝ බුදුන් කෙරෙහි අප්‍රසන්න වෙත් ද? ධර්‍මය කෙරෙහි අප්‍රසන්න වෙත් ද? සඞ්ඝයා කෙරෙහි අප්‍රසන්න වෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ පර්‍ය්‍යුපාසනා නො කෙරෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ අතින් පැන නො පුළුවුසිත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ විසින් පැන විසඳු කල සියමන් නො වෙත් ද? හැම දෙවියෝ කර්‍මාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? විපාකාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? අශ්‍රද්ධ වෙත් ද? අච්ඡන්‍දික වෙත් ද? දුෂ්ප්‍රාඥ වෙත් ද? කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බැසගන්නට අභව්‍ය වෙත් ද? හැම දෙවියෝ මාතෘඝාතක පිතෘඝාතක අර්‍හත්ඝාතක රුධිරොත්පාදක සඞ්ඝභේදක වෙත් ද? හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇතියාහු මුසවා බණන්නාහු පෙහෙසුන් වචන ඇතියාහු පරොස්බස් ඇතියාහු පලප් බණන්නාහු ලොබ බිහිලු වූවාහු ව්‍යාපන්නසිත් ඇතියාහු මිසදිටු ඇතියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: ජඩ නො වූ වහතොලු නො වූ විඥ වූ හස්තමුද්‍රායෙන් නො බණන්නා වූ සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? බුදුවරුන්හි පසන්, ධමුරුවන්හි පසන්, සඟුරුවන්හි පසන්, භගවත් සම්බුද්ධයන් පර්‍ය්‍යුපාසනා කරන, භගවත් සම්බුද්ධයන් පැන පුළුවුස්නා, භගවත් සම්බුද්ධයන් විසින් පැන විසඳු කල සතුටු වන දෙවියෝ ඇත්තාහු නො වේ ද? කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූ ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූ විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූ සැදැහැ ඇති, කුසලච්ඡන්‍ද ඇති, ප්‍රඥා ඇති, කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමධර්‍මයට බැසගන්නට භව්‍ය වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? මාතෘඝාතක නො වූ, පිතෘඝාතක නො වූ, අර්‍හත්ඝාතක නො වූ, රුධිරොත්පාදක නො වූ, සඞ්ඝභේදක නො වූ, දෙවියෝ ඇත්තාහු නො වේ ද? පණිවා නො කරන, අයිනාදන් නො ගන්නා, කාමයෙහි මිසහසර නැති, මුසවා නො බණන, පිසුනුබස් නැති, පරොස් බස් නැති, පලප් නො බණන, ලොබ බිහිලි නො වූ ව්‍යාපන්නසිත් නැති දෙවියෝ ඇත්තාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එ බැවින් ජඩ නො වූ වහතොලු නො වූ නුවණැති, හස්තමුද්‍රායෙන් නො බණන, සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ … දෙවියෝ ඇත. බුදුරුවන්හි පහන් … සම්දිටු ඇති දෙවියෝ ඇත.
අනු. පා: භවත, දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ ….
2. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එහි පැවිද්ද, හිසමුඬු කිරීම, කහවත් ධැරීම්, පාත්‍ර ධැරීම් ඇත් ද? දෙවියන් කෙරෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදනාහු වෙත් ද? පසේබුදුහු උපදනාහු වෙත් ද? ශ්‍රාවකයුග්ම උපදනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: දෙවියන් කෙරෙහි පැවිද්ද නැති’ යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.