1488. ග්‍රන්‍ථධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථ යි.
අභිධ්‍යාකායග්‍රන්‍ථය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, ව්‍යාපාදකායග්‍රන්‍ථය දොම්නස්සහගත දෙ සිත්හි උපදී, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථය ද ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදිත්. මොහු ග්‍රන්‍ථධර්‍මයෝ යි.
1489. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයන් තබා සෙසු අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යි.
1490. ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනී ය ධර්‍මයෝ යි.
1491. ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යි.
1492. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, මෙහි උපන් ලෝභය තබා යි. දෞර්‍මනස්‍යසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් ප්‍රතිඝය හැර යි. මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි
1493. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත වූ සතර සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිච්ඡාසහගත චිත්ත යැ, ඖද්ධත්‍යසහගත චිත්ත යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1494. ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යි.
1495. ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය වූහ’යි ද ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූහ’යි ද නො කියැයුත්තාහ.
1496. ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරයත්:
යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
1497. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
එහි උපන් ග්‍රන්‍ථයන් තබා, ලෝභසහගත චිත්තෝත්පාදයෝ අටදෙන යැ, දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙනා යැයි මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යයි ද, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථයෝ යයි ද නො කියැයුත්තාහ.