4. අට්ඨකථාකාණ්ඩය
1383. කුශලධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි කුශල යැ. මේ ධර්‍මයෝ කුශලයෝ යි.
1384. අකුශලධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
1385. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි විපාකය ද තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
1386. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ යැ අකුශලයෙන් (සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ) සතර දෙන යැ කාමාවචරකුශලයාගේ විපාකයෙන් ද ක්‍රියායෙන් ද (සෝමනස්සසහගත විපාක සතරයැ හසිතුප්පාදචිත්තය දැ යි චිත්තෝපාදයෝ) පස්දෙන යැ කුශලයෙන් ද විපාකයෙන් ද ක්‍රියායෙන් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ කුශලයෙන් ද විපාකයෙන් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ යන මොහු යැ. මෙහි උපන් සුඛවේදනාව තබා මේ ධර්‍මයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
1387. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුක්සහගිය කායවිඥාන යි. මෙහි උපන් දුඃඛවේදනාව තබා මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
1388. අදුඃඛාසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර - කුශලයන් කෙරෙන් සතර උපේක්‍ෂා සහගත චිත්තෝත්පාදයෝ යැ. අකුශලයන් කෙරෙන් (චිත්තෝත්පාද) සයෙක. කාමාවචර කුශලවිපාකයන් කෙරෙන් දශයෙක. අකුශලවිපාකයන් කෙරෙන් සයෙක. ක්‍රියා සිත් අතුරෙන් සයෙක. කුශල විපාක - ක්‍රියා විසින් රූපාවචර චතුථිධ්‍යනය ද කුශල විපාක - ක්‍රියා විසින් සතර අරූපාවචරයෝ ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර චතුථිධ්‍යනය ද යන මෙහි උපන් අදුක්ඛමසුඛවේදනාව තබා මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
ත්‍රිවිධ වේදනාවෝ ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ‘සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’ යි ද ‘දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද ‘අදුක්මසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද නො කියැයුත්තාහ.
1389. විපාකධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි විපාක යැ. මේ විපාකයෝ යි.
1390. විපාකස්වභාවධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි කුශල යැ, අකුශල යැ යන මේ ධර්‍මයෝ විපාකස්වභාව ධර්‍මයෝ යි.
1391. නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ කවරහ යත්:
තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ යි.
1392.උපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි විපාක ද කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් වේ ද, මොහු උපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
1393. අනුපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි කුශල යැ අකුශල යැ තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මොහු අනූපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
1394. අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ යි.
1395. සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මොහු සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ යි.
1396. අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි කුශල යැ තුන් භූමියෙහි විපාක යැ තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ යි.
1397. අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ යි.
1398. සවිතර්‍කසවිචාර ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචර කුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලවිපාකයෙන් දෙකෙක, ක්‍රියායෙන් එකොළොසෙක, කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යානය යැ, යන මෙතෙක් තැන්හි උපන් විතර්‍කවිචාරයන් තබා මේ ධර්‍මයෝ සවිතර්‍කසවිචාරයෝ යි.
1399. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ කවරහ යත්:
කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර පඤ්චකනයෙහි ද්විතීයධ්‍යානය ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානය ද මෙහි උපන් විචාරය තබා, විතර්‍කය ද යන මොහු අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ යි.