1564. ක්ලේශධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශවස්තු දසයෙකි: ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, ඖද්ධත්‍ය යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
ලෝභය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ද්වේෂය දොම්නස්සහගිය දෙසිත්හි උපදී. මෝහය සියලු අකුශලයෙහි උපදී. මානය දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. විචිකිත්සාව විචිකිත්සාසහගත සිත්හි උපදී. ස්ත්‍යානය සසංස්කාරික අකුශලයන්හි උපදී. ඖද්ධත්‍යය ද අහ්‍රීකය ද අනොත්තප්පය ද සියලු අකුසල් අකුසල්සිත්හි උපදිත්. මොහු ක්ලේශ ධර්‍මයෝ යි.
1565. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
1566. සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සාංක්ලේශික ධර්‍මයෝ යි.
1567. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
1568. සංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
ද්වාදශ අකුශලචිත්තෝත්පාදයෝ යි. මොහු සංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
1569. අසංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අසංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
1570. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තතෝත්පාදයෝ යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1571. ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1572. ක්ලේශ ද වු සාංක්ලේශික ද වු ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ද ක්ලේශ ද සාංක්ලේශික ද වෙත්.
1573. සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු සංක්ලේශක ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
අසාංක්ලේශික ධර්‍මයෝ ක්ලේශ ද වූ සාංක්ලේශික වූහ’යි ද, සාංක්ලේශික ද වූ ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.
1574. ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වෙත්.
1575. සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු සංක්ලිෂ්ට ද වූ නොද වූ ක්ලේශ වු ධර්‍මයෝ යි.
අසංක්ලිෂ්ට ධර්‍මයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට වූහ’යි ද සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.