1588. සවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශල යැ, අකුශල යැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලයාගේ විපාකයෙන් දෙසිතෙක, ක්‍රියායෙන් එකොලොසෙක, කුශලහෙයින් ද, විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන යැ,මෙහි උපන් විතර්‍කය හැර යි. මොහු සවිතර්‍ක ධර්‍මයෝ යි.
1589. අවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර අරූපාවචරයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
1590. සවිචාරධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ, අකුශල යැ, කාමාවචර කුශලයාගේ විපාක හෙයින් එකොළොස් චිත්තෝත්පාද කෙනෙකැ, අකුශලවිපාකහෙයින් දෙසිතෙකැ, ක්‍රියාහෙයින් එකොළොසෙකැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ඒකකද්විකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ඒකකද්විකධ්‍යානයෝ යැ, මෙහි උපන් විචාරය හැර යි. මොහු සවිචාරධර්‍මයෝ යි.
1591. අවිචාරධර්‍මයෝ කවරහ යත්:
දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල විපාක හෙයින් ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, විචාරය ද, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිචාර ධර්‍මයෝ යි.
1592. සප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර සොම්නස්සහගිය සිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙක, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ද්විත්‍රිකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විත්‍රිකධ්‍යානයෝ යැ,මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.
1593. අප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සිත් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අප්‍රීතිකධර්‍මයෝ යි.
1594. ප්‍රීතිසහගතධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයෙන් සතර සොම්නස්සහගියසිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ , කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ කුශලහෙයින් ද, විපාකහෙයින් ද. ලෝකෝත්තර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ, මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු ප්‍රීතිසහගතධර්‍මයෝ යි.