1157. කවර ධර්‍මයෝ නීවරණ වෙති යත්:
නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිද්‍යානීවරණ යි.
1158. එහි කාමච්ඡන්‍දනීවරණය කවරේ යත්:
කාම විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද නීවරණ යයි කියනු ලැබේ.
1159. එහි ව්‍යාපාදනීවරණ කවරේ යත්:
‘මට අනර්‍ත්‍ථ කෙළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රියමනාප වූවහුට අනර්‍ත්‍ථ කෙළේ ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේ යැ ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මෙබඳු වූ යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ පෙරැළීමෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරැළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් චණ්ඩ බවෙක් වාක් අපරිපූර්‍ණතායෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ව්‍යාපාදනීවරණ යයි කියනු ලැබේ.
1160. එහි ථීනමිද්ධනීවරණ කවරේ යත්:
ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති.
1161. එහි ථීනය කවරේ යත්:
චිත්තයාගේ යම් අකල්‍ය (ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මොනවට එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවෙක් ස්ත්‍යානයෙක් ස්ත්‍යානාකාරයෙක් ස්ත්‍යානභාවයෙක් (තද බවෙක්) වේ ද, මේ ථීන යයි කියනු ලැබේ.
1162. එහි මිද්ධය කවරේ යත්:
කයෙහි යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍යභාවයෙක් බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙක්) පෙළීමෙක් නිද්‍රායෙක් (ඇස් පිය සැලීම් ආදී) සල බවෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් ඇද්ද, මේ මිද්ධ යයි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත් මේ මිද්ධයත් ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.
1163. එහි උද්ධච්චකුක්කුච්චනීවරණ කවරේ යත්:
උද්ධච්චයෙක් ඇත, කුක්කුච්චයෙක් ඇති.
1164. එහි උද්ධච්ච කවරේ යත්:
චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්ත වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ උද්ධච්ච යයි කියනු ලැබේ.
1165. එහි කුක්කුච්ච කවරේ යත්:
අකැපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යෙයහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යෙයහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළ බවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් සිත හිරිනැගීමෙක් ඇද්ද, මේ කුක්කුච්ච යයි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චයත් මේ කුක්කුච්චයත් යන මේ උද්ධච්චකුක්කුච්චනීවරණ යයි කියනු ලැබේ.
1166. එහි විචිකිච්ඡා නීවරණ කවරේයත්:
ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ විචිකිච්ඡානීවරණ යයි කියනු ලැබේ.