නික්‍ෂේපකාණ්ඩයෙහි පළමුවන බණවර නිමි.
1117. කවර ධර්‍මයෝ සංයෝජන වෙති යත්:
දශ සංයෝජනයෝ ය: කාමරාග සංයෝජන ය, ප්‍රතිඝ සංයෝජන ය, මාන සංයෝජන ය, දෘෂ්ටි සංයෝජන ය, විචිකිත්සා සංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශ සංයෝජන ය, භවරාග සංයෝජන ය, ඊර්‍ෂ්‍යා සංයෝජන ය, මාත්සර්‍ය්‍ය සංයෝජන ය, අවිද්‍යා සංයෝජන යි.
1118. එහි කාමරාග සංයෝජන කවරේ යත්:
පස්කම් ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාම නන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් (කාමයන්හි ගැලී සිටීමෙක්) වේ ද, මේ කාමරාග සංයෝජන යයි කියනු ලැබේ.
1119. එහි ප්‍රතිඝ සංයෝජන කවරේ යත්:
‘මට අනර්‍ත්‍ථ කළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේය’යි ආඝාත උපදී. මාගේ පිය මනාප හට අනර්‍ත්‍ථ කෙළේ ය. ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. යම් මෙබඳු වූ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ද්වේෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඬ බවෙක් නො පිරිණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ප්‍රතිඝසංයෝජන යයි කියනු ලැබේ.
1120. එහි මානසංයෝජන කවරේ යත්:
‘මම ශ්‍රේෂ්ඨයෙමි’ මානය, ‘මම සදුශයෙමි’ මානය, ‘මම හීනයෙමි’ මානය, යම් මෙබඳු වූ මානෙයක් මානාකාරෙයක් මඤ්ඤිත බෙවක් උන්නතියෙක් ඔසොවා තැබීමෙක් ධ්වජයෙක් සිත දැඩි ව ගැනීමෙක් චිත්තයාගේ කේතුකාම්‍යතායෙක් වේ ද, මේ මානසංයෝජන යයි කියනු ලැබේ.
1121. එහි දෘෂ්ටිසංයෝජන කවරේ යත්:
ලෝකය ශාශ්වත ය හෝ, ලෝකය අශාශ්වත ය හෝ, ලෝකය අන්තවත් ය හෝ, ලෝකය අනන්තවත් ය හෝ, ඒම ජීව ය ඒ ශරීර යයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් පිවිසීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ටිසංයෝජන යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ෂසංයෝජනය තබා සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිසංයෝජන යි.