1139. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වෙති යත්:
ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: අභිධ්‍යා කායග්‍රන්‍ථය, ව්‍යාපාද කායග්‍රන්‍ථය, ශීලව්‍රතපරාමර්‍ෂ කායග්‍රන්‍ථ ය, ඉදංසත්‍යාභිවේශ කායග්‍රන්‍ථ යයි.
1140. එහි අභිධ්‍යා කායග්‍රන්‍ථය කවරේ යත්:
යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගේධයෙක් පරිගේධයෙක් ඇලීමෙක් පඞ්කයෙක් ඒජාවක් මායාවක් ජනිකාවක් සංජනනියක් සීවනියක් ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් සූත්‍රයෙක් පැතිරීමෙක් ආයුහනියක් ද්වීතියාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් ප්‍රතිබන්‍ධයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පනය කිරීමෙක් ප්‍රජල්පයෙක් අභිජල්පයෙක් ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් නගුට සැලුමෙක් ස්වාදුකාම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂම ලෝභයෙක් නිකාන්තියෙක් කැමති වන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනයෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්ධතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතායෙක් වෛවිප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයක් තෘෂ්ණා නදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක් අභිධ්‍යාවක් ලෝභඅකුශල මූලයෙක් වේ ද, මේ අභිධ්‍යා කාය ග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
1141. එහි ව්‍යාපාද කායග්‍රන්‍ථ කවරේ යැ:
‘මට අවැඩ කළැ’යි කෝප උපදී, ‘මට අවැඩ කෙරෙයි’ කෝප උපදී, ‘මට අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළ’යි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කළැ’යි ... වැඩ කෙරෙයි ... වැඩ කරන්නේ වනැ’යි කෝප උපදී. යළි නො තැන්හි හෝ කෝප උපදී. මෙබඳු වූ යම් සිත පිළිබඳ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬබවෙක් නො පිරිපුන් වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සියමන් බවෙක් වේ ද, මේ ව්‍යාපාද කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
1142. එහි ශීලව්‍රතපරාමර්‍ශ කාය ග්‍රන්‍ථකවරේ යැ:
මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීල ව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථ යි කියනු ලැබේ.
1143. එහි ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ කවරේ යැ:
ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අශාශ්වත යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අනන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍ය තුච්ඡ යැයි හෝ, ඒ මැ ජීවය ඒ මැ ශරීර යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත (-සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරීතග්‍රාහයෙක් වේ ද, මේ ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය තබා හැම මිථ්‍යා දෘෂ්ටි ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යි.
මේ ධර්‍මයෝ ග්‍රන්‍ථයෝ යි.