1101. කවර ධර්‍මයෝ ආස්‍රව වෙති යත්:
ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ටාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.
1102. එහි කාමාස්‍රව කවරේ යත්:
පඤ්ච කාමගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ කාමාස්‍රව යයි කියනු ලැබේ.
1103. එහි භවාස්‍රව කවරේ යත්:
රූපාරූපභවයන්හි (ප්‍රාර්‍ත්‍ථනා වශයෙන් පැවැති) යම් භවඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමුර්ච්ඡායෙක් භවයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ භවාස්‍රව යයි කියනු ලැබේ.
1104. එහි දෘෂ්ට්‍යාස්‍රව කවරේ යත්:
ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යයි හෝ, ලෝකය අශාශ්වත යයි හෝ, ලෝකය අන්තවත් යයි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ඒම ජීව ය ඒම ශරීර යයි හෝ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ, තථාගත (- සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ වූ) ග්‍රාහයෙක් පිහිටා ගැනීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ට්‍යාස්‍රව යයි කියනු ලැබේ.
1105. එහි අවිද්‍යාස්‍රව කවරේ යත්:
දුඃඛසත්‍යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුප්පන්න ධර්‍මයන්හි නො දැනීම ය යන යම් මෙබඳු වූ නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසඞ්ගාහනයෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) ප්‍රත්‍යවේක්‍ෂණය නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් හාත්පසින් මුළාවීමෙක් අවිද්‍යායෙක් අවිද්‍යා සඞ්ඛ්‍යාත ඕඝයෙක් අවිද්‍යා යෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාස්‍රව යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
1106. කවර ධර්‍මයෝ ආස්‍රව නො වූවාහු වෙති යත්:
ඒ ආස්‍රවධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ අවශේෂ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ ආස්‍රව නො වූවෝ යි.
1107. කවර ධර්‍මයෝ සාස්‍රව වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සාස්‍රවයෝ යි.
1108. කවර ධර්‍මයෝ අනාස්‍රවහ යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත නිබ්බානධාතුව ද, යන මේ ධර්‍මයෝ අනාස්‍රවයෝ යි.
1109. කවර ධර්‍මයෝ ආස්‍රව සම්ප්‍රයුක්තහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යි.
1110. කවර ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තයෝ යි.
1111. කවර ධර්‍මයෝ ආස්‍රව ද සාස්‍රව ද වෙති යත්:
ඒ ආස්‍රවයෝ ආස්‍රව ද ආස්‍රව සහිත ද වෙත්.