1088. කවර ධර්‍මයෝ සප්‍රත්‍යය වෙති යත්:
පඤ්චස්කන්‍ධයෝ ය: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සප්‍රත්‍යයෝ යි.
1089. කවර ධර්‍මයෝ අප්‍රත්‍යය වෙති යත්:
අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ය. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
1090. කවර ධර්‍මයෝ සඞ්ඛත වෙති යත්:
ඒ යම් ම ධර්‍මකෙනෙක් සප්‍රත්‍යයෝ ද, එම ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
1091. කවර ධර්‍මයෝ අසඞ්ඛත වෙති යත්:
ඒ යම් ම ධර්‍මයෙක් අප්‍රත්‍යය වේ ද, එම ධර්‍මය අසඞ්ඛත යි.
1092. කවර ධර්‍මයෝ සනිදර්‍ශන වෙති යත්:
රූපායතන ය. මේ ධර්‍මයෝ සනිදර්‍ශනයෝ යි.
1093. කවර ධර්‍මයෝ අනිදර්‍ශන වෙති යත්:
චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අනිදර්‍ශනයෝ යි.
1094. කවර ධර්‍මයෝ සප්‍රතිඝ වෙති යත්:
චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යාතන ය, යන මේ ධර්‍මයෝ සප්‍රතිඝයෝ යි.
1095. කවර ධර්‍මයෝ අප්‍රතිඝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනයෙහි ඇතුලු වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
1096. කවර ධර්‍මයෝ රූපී වෙති යත්:
සතර මහා භූතයෝ ද, සතර මාහාභූතයන් නිසා පවත්නා රූපය ද, යන මේ ධර්‍මයෝ රූපී වෙත්.
1097. කවර ධර්‍මයෝ අරූපී වෙති යත්:
වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අරූපී වෙත්.
1098. කවර ධර්‍මයෝ ලෞකික වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ ආස්‍රව සහිත වූ කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ලෞකිකයෝ යි.
1099. කවර ධර්‍මයෝ ලෝකෝත්තර වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ලෝකෝත්තරයෝ යි.
1100. කවර ධර්‍මයෝ චක්‍ෂුරාදි කිසි විඥානයෙකින් දතයුතු ද කිසි විඥානයකින් නො දතයුතු ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥානයෙන් නො දත යුත්තාහ. යළි යම් ධර්‍මකෙනෙක් ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුත්තාහු නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්තාහ.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.