1260. ඒ කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1261. එහි සක්කාදිට්ඨි කවර යත්:
මෙලොව අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුනේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂ ධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනේ රූපය ආත්ම හෙයින් දකී. රූපවත් වූ ආත්මය හෝ දකී. ආත්මයෙහි හෝ රූපය දකී. රූපයෙහි හෝ ආත්මය දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විනඥානය ආත්ම හෙයින් දකී. ආත්මය විනඥානවත් කොට හෝ දකී. ආත්මයෙහි විනඥානය ඇතැයි හෝ දකී. විනඥානයෙහි හෝ ආත්මය ඇතැයි දකී. මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්සංයෝඡනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙන් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1262. එහි විචිකිච්ඡා කවර යත්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි. සංඝයා කෙරෙහි සැක කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමූත්පාදයෙහි සැක කෙරෙයි. මෙබඳු යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්වේධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් අපර්‍ය්‍යවගාහනයෙක් චිත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යයි කියනු ලැබේ.
1263. එහි සීලබ්බතපරාමාස කවරෙ යත්:
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ව්‍රතයෙන් ශුද්ධි යැ ශීලව්‍රතයෙන් ශුද්ධි යැ යි මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ‘සීලබ්බතපරාමාස’ යයි කියනු ලැබේ. මේ තුන් සංයෝජනයෝ යැ තදේකස්ථ ක්ලේශයෝද තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1264. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නොවෙති යත්:
ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වෙත්.
1265. භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
අවශිෂ්ට වූ ලෝභ යැ ද්වේෂ යැ මෝහය යැ තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
1266. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වන ධර්‍මයෝ යි.
1267. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ යැ
1268. එහි සක්කායදිට්ඨි කවර යත්:
මෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සක්කායදිට්ඨි’ යයි කියනු ලැබේ.
1269. එහි විචිකිච්ඡා කවර යත්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි විචිකිච්ඡා කෙරෙයි ... වීත්තයාගේ දැඩි බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද මේ ‘විචිකිච්ඡා’ යැයි කියනු ලැබේ.
1270. එහි සීලබ්බතපරාමාස කවර යත්:
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි යැ ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මේ ‘සීලබ්බතපරාමාස’ යැයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන වූ කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යන මොහු දර්‍ශනායන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.