1362. එහි විපස්සනා කවර යත්:
යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෝ ‘විපස්සනා’ යයි කියනුලබා.
1363. එහි සමථනිමිත්ත කවරෙ යත්:
චිත්තයාගේ අරමුණෙහි යම් අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථනිමිත්ත’ යයි කියනුලැබේ.
1364. එහි ප්‍රග්‍රාහනිමිත්ත කවරෙ යත්:
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යක්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහනිමිත්ත’ යයි කියනුලැබේ.
1365. එහි ප්‍රග්‍රාහ කවරෙ යත්:
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහ’ යයි කියනුලැබේ.
1366. එහි අවික්‍ෂේප කවරෙ යත්:
චිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘අවික්‍ෂේප’ යයි කියනුලැබේ.
1367. එහි ශීලවිපත්ති කවර යත්:
යම් කායික ව්‍යතික්‍රමයෙක් වාචසික ව්‍යතික්‍රමයෙක් කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලවිපත්ති’ යයි කියනුලබා. හැම දුශ්ශිල්‍යය ශීලවිපත්ති නමු.
1368. එහි දෘෂ්ටිවිපත්ති කවර යත්:
දුන් දැය විපාක නැත, පූජායෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, උපපාදුක සත්‍වයෝ නැත, ලොවැ යැම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැතැයි මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘශ්ටි ඇති බවෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘දෘෂ්ටිවිපත්ති’ යැයි කියනු ලබා. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති නමු.
1369. එහි ශීලසම්පත් කවර යත්:
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලසම්පත්’ යයි කියනුලබා. හැම ශීලසංවර ශීලසම්පත් නමු.
1370. එහි දෘෂ්ටිසම්පත් කවර යත්:
‘දුන් දැය විපාක ඇත, පුදනලද්දෙහි විපාක ඇත, හෝම (ආගන්තුක සත්කාර) යෙහි විපාක් ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, ලොව සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු ශ්‍රමණබ්‍රාහ්මණයෝ ඇතැ’යි යම් මෙබඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘දිට්ඨිසම්පදා’ යි කියනුලැබේ. හැම සම්‍යග්දෘෂ්ටි දිට්ඨිසම්පදා යි.
1371. එහි ශීලවිසුද්ධි කවර යත්:
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යාතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යාතික්‍රමයෙක් ඇද්ද, මේ ‘ශීලවිසුද්ධි’ යැයි කියනු ලබා. හැම ශීලසංවරය ශීලවිසුද්ධි යි.
1372. එහි දිට්ඨිවිසුද්ධි කවර යත්:
කර්‍මස්වකතාඥානය සත්‍යානුලෝමිකඥානය මාර්‍ගසමඞ්ගීහුගේ ඥානය ඵලසමඞ්ගීහුගේ ඥාන යි.
1373. ‘දිට්ඨිවිසුද්ධි ඛො පන’ යනු යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, එයයි.
1374. ‘යථාදිට්ඨිස්ස ච පධානං’ යනු යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, එයයි.
1375. ‘සංවේගො’ යනු ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය යි. ‘සංවෙජනීයං ඨානං’ යනු ජාති ජරා ව්‍යාධි මරණ යි.