[අකුශල විපාක අව්‍යාකෘත]
565. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
566. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අකුශලවිපාක අව්‍යාකෘතයෝ යි.
[ක්‍රියාමනෝධාතු]
567. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂා සහගත වූ ක්‍රියාමනෝධාතු උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
568. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ක්‍රියාමනෝධාතු යි.
[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය]
569. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සෝමනස්සසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.