1. චිත්තෝත්පාදකාණ්ඩය
කාමාවචර අෂ්ට මහාචිත්තයෝ
පද බෙදුම
1. කවර දහම්හු කුසල්හ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගිය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය උපදනේ (ක්‍ෂණත්‍රයගත) වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතින්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග් ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක් සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි. අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතාව වෙයි, චිත්තකර්‍මණ්‍යතාවය වෙයි, කායප්‍රාගුණ්‍යතාව වෙයි, චිත්තප්‍රාගුණ්‍යතාවය වෙයි, කාය-ඍජුත්‍වය වෙයි, චිත්ත-ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ කුශලයෝ යි.
2. කවරෙක් එසමයෙහි (කාමාවචර මහාකුශලචිත්තය උපදනා ඇසිල්ලෙහි) ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
3. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතූහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වේදනායෙක් වේ ද මේ - එසමයෙහි වේදනාව වේ.
4. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාව වේ.
5. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥාධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි චේතනාව වේ.
6. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි චිත්තය වේ.
7. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍කය වේ.
8. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාරය වේ.
9. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍ය (තරුණප්‍රීති) යෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයා ගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීතිය වේ.
10. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛවේදනාව වේ.
11. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයා ගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
12. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධාවෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් සැදැහැයෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.