277. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස (ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, විතෛත්කාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨි වෙයි, සම්මාවාචා වෙයි, සම්මාකම්මන්ත වෙයි, සම්මාආජීව වෙයි, සම්මාවායාම වෙයි, සම්මාසති වෙයි, සම්මාසමාධි වෙයි, සද්ධාබල වෙයි, විරියබල වෙයි, සතිබල වෙයි, සමාධිබල වෙයි, පඤ්ඤාබල වෙයි, හිරිබල වෙයි, ඔත්තප්පබල වෙයි, අලෝභය වෙයි, අදෝසය වෙයි, අමෝහය වෙයි, අනභිජ්ඣා වෙයි, අව්‍යාපාද වෙයි, සම්මාදිට්ඨි වෙයි, හිරි වෙයි, ඔත්තප්ප වෙයි, කායපස්සද්ධි වෙයි, චිත්තපස්සද්ධි වෙයි, කායලහුතා වෙයි, චිත්තලහුතා වෙයි, කායමුදුතා වෙයි, චිත්තමුදුතා වෙයි, කායකම්මඤ්ඤතා වෙයි, චිත්තකම්මඤ්ඤතා වෙයි, කායපාගුඤ්ඤතා වෙයි, චිත්තපාගුඤ්ඤතා වෙයි, කායුජ්ජුකතා වෙයි, චිත්තුජ්ජුකතා වෙයි, සති වෙයි, සම්පජඤ්ඤ වෙයි, සමථය වෙයි, විපස්සනා වෙයි, පග්ගාහය වෙයි, අවික්ඛේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
278. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
279. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනාව වේ.
280. කවරෙක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
281. කවරෙක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
282. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
283. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
284. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාරය වේ.
285. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.