[කාමාවචරක්‍රියා]
577. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
578. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥානධාතුව) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
කාමාවචරක්‍රියා යි.
[රූපාවචරක්‍රියා]
579. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
580. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
රූපාවචරක්‍රියා යි.
[අරූපාවචරක්‍රියා]
581. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.