මුදිතා භාවනාව
මුදිතා භාවනාව අරඹන්නහු විසින්ද පළමුකොට ප්රියපුද්ගලාදීන් වෙත නොඇරඹිය යුතුය. ප්‍රිය පුද්ගලයා ප්‍රියවූ පමණෙකින්ම මුදිතාවට ආසන්න කාරණ නොවේ, මධ්‍යස්ථ හා වෛරී පුද්ගලයෝ කැලම නොවෙති, අසමලිංගිකයෝද මළගියාහුද අවිෂය වූවෝමය.
ඉතාප්‍රිය සහායකයා වනාහි මුදිතාවට පදට්ඨාන හෙවත් ආසන්න කාරණ වන්නේය. යම් සහායකයෙක් ‘සොණ්ඩසහාය’ යනුවෙන් අටුවායෙහි කියනලද, හේ තෙමේ වනාහි අතිශයින්ම මුදිත වූවෙකි. පළමුකොට සිනාසී පසුව කතාකරයි, එහෙයින් පළමුකොට එවන් සහායකයකු වෙත මුදිතාව පැතිරවිය යුතුය. නැතහොත් සුඛිතවූ, ප්‍රමුදිත වූ, ප්‍රීතිමත්වූ ප්‍රිය පුද්ගලයකු දැක හෝ අසා හෝ, “මේ සත්ත්ව තෙමේ ඒකාන්තයෙන් මුදිතවූයේ වේ, අහෝ මැනවි, අහෝ යෙහෙකි”යි මුදිතා චිත්තය ඉපැදවිය යුතුය. මෙම අර්ත්ථයම සලකා විභංගයෙහි, “භික්ෂු තෙමේ මුදිතාසහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි ප්‍රියමනාප වූ එක්තරා පුද්ගලයකු දැක මුදිත වන්නේද, එසේම සියලු සත්ත්වයන් කෙරෙහි මුදිතාචිත්තය පතුරුවන්නේය”යි කියන ලදි.
ඉදින් ඒ සොණ්ඩසහායකයා නැතහොත් ප්‍රිය පුද්ගලයා අතීතයෙහි සුඛිතවූයේද, එහෙත් දැනට දිළිඳුවූයේ, දුශ්චරිතයෙන් යුක්තවූයේ වේද, එවිට ඔහුගේ අතීත වූ සුඛිතභාවයම සිහිකොට, “මේ තෙමේ අතීතයෙහි මෙවන් මහාභෝග ඇත්තේ, මහපිරිවර ඇත්තේ නිරන්තරයෙන් ප්‍රමුදිත වූයේය”යි ඔහුගේ ඒ අතීත මුදිතාකාරයම ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය. “අනාගතයෙහි හෝ නැවත එවන් සම්පත් ලැබ ඇතු පිටින්, අසු පිටින්, රන් දෝලාවෙන් හැසිරෙන්නේය”යි ඔහුගේ අනාගතය මුදිතාකාරයෙන් ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය.
මෙසේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි මුදිතාව උපදවා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහිද, ඉන් පසු වෛරී පුද්ගලයා කෙරෙහිද අනුපිළිවෙළින් මුදිතාචිත්තය පැවැත්විය යුතුය, අර්පණා වැඩිය යුතුය. ඉදින් යටකියනලද නයින් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වෙෂය උපදී නම්, යට මෛත්‍රී භාවනා විෂයෙහි කී-නයින්ම සන්සිඳුවා, මෙකී (ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන) තිදෙනා කෙරෙහිද තමා කෙරෙහිදැ’යි යන සිවු දෙනා කෙරෙහිම සමසිත් ඇති සීමාසම්භෙදය කොට, එම සමථ නිමිත්ත සෙවුමින්, වඩමින්. පුරුදු පුහුණු කරමින් මෛත්‍රී භාවනා විෂයෙහි කියනලද නයින් ත්රිකධ්යාන චතුෂ්කධ්‍යාන වශයෙන් අර්පණා වැඩිය යුතුය. ඉන් අනතුරුව පස් ආකාරයෙන් අනවධි වශයෙන් පැතිරවීමද, සත් ආකාරයෙන් අවධි වශයෙන් පැතිරවීමද, දශ ආකාරයෙන් දිශා අනුව පැතිරවීමදැ’යි යන මේ විකුබ්බනය සමෘද්ධ වේ. සුඛං සුපති යන ආදී ආනිසංසද මෛත්‍රී විෂයෙහි කී-නයින්ම සිද්ධ වෙතැ’යි දතයුතුය.
මේ මුදිතාභාවනාව පිළිබඳ විස්තර කථායි.
උපෙක්ෂා භාවනාව
උපෙක්ෂා භාවනාව අරඹනු කැමැති යෝගාවචරයා විසින් වනාහි මෛත්‍රී විහරණ ආදියෙහිදී ලබාගන්නා ලද ත්‍රික චතුෂ්ක ධ්යානයනට අනුව ප්‍රගුණ කරනලද තෘතීය ධ්‍යානයෙන් නැඟී, ‘සුඛිතා හොන්තු’ යන ආදී වශයෙන් සත්ත්වයන් කෙරෙහි ඇලීම් වශයෙන් පවත්වන ලද මනස්කාර ඇති හෙයින්ද, දොම්නස හා ඇල්ම යන දෙකට (කරුණාව දොම්නසටද මෛත්‍රී මුදිතා යන දෙක සොම්නසටද) සමීපව පවත්නා හෙයින්ද, සොම්නස හා සමග යෙදීමෙන් ඔළාරික වන හෙයින්ද පළමු (මෛත්‍රී, කරුණා, මුදිතා යන) විහරණ තුනෙහි ආදීනවද, ශාන්තභාව වශයෙන් උපෙක්ෂා විහරණයෙහි ආනිසංසද දැක, යම් පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් මධ්‍යස්ථ ස්වභාව ඇත්තේද, එවන් පුද්ගලයකු කෙරෙහි නිරතුරුව අවධානය යොමු කරමින් උපෙක්ෂා චිත්තය ඉපැදවිය යුතුය. ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි (උපෙක්ෂා චිත්තය) යොමු කළයුතුය. කියනලද මැයි: “භික්ෂු තෙමේ උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි මනාපද නොවූ අමනාපද නොවූ එක්තරා පුද්ගලකු දැක උපෙක්ෂා සහිත (මධ්‍යස්ථ) වන්නේද, එසේම සියලු සත්ත්වයන් කෙරෙහි උපෙක්ෂාව පතුරුවයි.”
එහෙයින් කියනලද නයින් මධ්‍යස්ථ පුද්ගලයකු කෙරෙහි උපෙක්ෂාව උපදවා, ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉන් අනතුරුව සොණ්ඩ සහායකයා කෙරෙහිද, ඉන් අනතුරුව වෛරී පුද්ගලයා කෙරෙහිදැ’යි මෙසේ මෙකී තිදෙනා කෙරෙහිද, තමා කෙරෙහිද, යන සෑම දෙනා කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමාසම්භෙදය කොට, එම සමථ නිමිත්ත සේවනය කළයුතුය, වැඩිය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ විහරණය කරනවිට පඨවිකසිණයෙහිදී කියනලද නයින්ම චතුර්ත්ථ ධ්‍යානය උපදී.
මෙම චතුර්ත්ථ ධ්‍යානය පඨවි කසිණ ආදියෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුට උපදීද? නො-උපදියි. කවර හෙයින්ද යත්: අරමුණු විසදෘශ වන හෙයිනි. මෛත්‍රී ආදී බඹවිහරණ විෂයෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුටම මෙකී (උපෙක්ෂා විහරණයෙන් උපදින) චතුර්ත්ථ ධ්‍යානය උපදියි; අරමුණු සමානවන හෙයිනි. ඉක්බිති (පංචාකාර, සප්තාකාර, දශාකාර) විකුබ්බනාදී ආනිසංස ප්රතිලාභයන්ද මෛත්‍රී භාවනාවෙහිදී කී-නයින්ම දතයුතුය.
මේ උපෙක්ෂා භාවනාව පිළිබඳ විස්තර කථායි.
පකිණ්ණකකථා
බ්රහ්මුත්තමෙන කථිතෙ බ්රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්වා
භිය්යො එතෙසු අයං පකිණ්ණකකථා පි විඤ්ඤෙය්යා.
භිය්යො එතෙසු අයං පකිණ්ණකකථා පි විඤ්ඤෙය්යා.
බ්රහ්මෝත්තම වූ තථාගතයන් වහන්සේ විසින් කියනලද මේ බ්‍රහ්මවිහාරයන් මෙසේ දැන, යලිදු මේ බ්‍රහ්මවිහාරයන් පිළිබඳ මේ ප්රකීර්ණක කථාද දතයුතුය.