උපෙක්‍ෂා භාවනාව
උපෙක්‍ෂා භාවනාව අරඹනු කැමැති යෝගාවචරයා විසින් වනාහි මෛත්‍රී විහරණ ආදියෙහිදී ලබාගන්නා ලද ත්‍රික චතුෂ්ක ධ්‍යානයනට අනුව ප්‍රගුණ කරනලද තෘතීය ධ්‍යානයෙන් නැඟී, ‘සුඛිතා හොන්තු’ යන ආදී වශයෙන් සත්ත්‍වයන් කෙරෙහි ඇලීම් වශයෙන් පවත්වන ලද මනස්කාර ඇති හෙයින්ද, දොම්නස හා ඇල්ම යන දෙකට (කරුණාව දොම්නසටද මෛත්‍රී මුදිතා යන දෙක සොම්නසටද) සමීපව පවත්නා හෙයින්ද, සොම්නස හා සමග යෙදීමෙන් ඔළාරික වන හෙයින්ද පළමු (මෛත්‍රී, කරුණා, මුදිතා යන) විහරණ තුනෙහි ආදීනවද, ශාන්තභාව වශයෙන් උපෙක්‍ෂා විහරණයෙහි ආනිසංසද දැක, යම් පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් මධ්‍යස්ථ ස්වභාව ඇත්තේද, එවන් පුද්ගලයකු කෙරෙහි නිරතුරුව අවධානය යොමු කරමින් උපෙක්‍ෂා චිත්තය ඉපැදවිය යුතුය. ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි (උපෙක්‍ෂා චිත්තය) යොමු කළයුතුය. කියනලද මැයි: “භික්‍ෂු තෙමේ උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි මනාපද නොවූ අමනාපද නොවූ එක්තරා පුද්ගලකු දැක උපෙක්‍ෂා සහිත (මධ්‍යස්ථ) වන්නේද, එසේම සියලු සත්ත්‍වයන් කෙරෙහි උපෙක්‍ෂාව පතුරුවයි.”
එහෙයින් කියනලද නයින් මධ්‍යස්ථ පුද්ගලයකු කෙරෙහි උපෙක්‍ෂාව උපදවා, ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉන් අනතුරුව සොණ්ඩ සහායකයා කෙරෙහිද, ඉන් අනතුරුව වෛරී පුද්ගලයා කෙරෙහිදැ’යි මෙසේ මෙකී තිදෙනා කෙරෙහිද, තමා කෙරෙහිද, යන සෑම දෙනා කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමාසම්භෙදය කොට, එම සමථ නිමිත්ත සේවනය කළයුතුය, වැඩිය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ විහරණය කරනවිට පඨවිකසිණයෙහිදී කියනලද නයින්ම චතුර්ත්‍ථ ධ්‍යානය උපදී.
මෙම චතුර්ත්‍ථ ධ්‍යානය පඨවි කසිණ ආදියෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුට උපදීද? නො-උපදියි. කවර හෙයින්ද යත්: අරමුණු විසදෘශ වන හෙයිනි. මෛත්‍රී ආදී බඹවිහරණ විෂයෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුටම මෙකී (උපෙක්‍ෂා විහරණයෙන් උපදින) චතුර්ත්‍ථ ධ්‍යානය උපදියි; අරමුණු සමානවන හෙයිනි. ඉක්බිති (පංචාකාර, සප්තාකාර, දශාකාර) විකුබ්බනාදී ආනිසංස ප්‍රතිලාභයන්ද මෛත්‍රී භාවනාවෙහිදී කී-නයින්ම දතයුතුය.
මේ උපෙක්‍ෂා භාවනාව පිළිබඳ විස්තර කථායි.
පකිණ්ණකකථා
බ්‍රහ්මුත්තමෙන කථිතෙ බ්‍රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්‍වා
භිය්‍යො එතෙසු අයං පකිණ්ණකකථා පි විඤ්ඤෙය්‍යා.
බ්‍රහ්මෝත්තම වූ තථාගතයන් වහන්සේ විසින් කියනලද මේ බ්‍රහ්මවිහාරයන් මෙසේ දැන, යලිදු මේ බ්‍රහ්මවිහාරයන් පිළිබඳ මේ ප්‍රකීර්ණක කථාද දතයුතුය.
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන බ්‍රහ්මවිහාරයන් අතුරෙන්, අරුත් වශයෙන්, ස්නේහ කෙරෙති’යි යන අරුතින් මෙත්තා නමි, සත්ත්‍වයන් කෙරෙහි හිත පතුරුවති’යි යන අර්ත්‍ථයි. ‘මිත්‍රයා කෙරෙහි වූයේ’, නැතහොත් ‘මේ මිත්‍රයාගේ ස්වභායයි’ යන අරුතින් හෝ මෙත්තා නමි. අනුන්ගේ දුකෙහිදී සද්ජනයන්ගේ හෘදය කම්පනය කෙරෙති’යි කරුණා නමි, අනුන්ගේ දුක් නසති’යි, පහ කෙරෙති’යි හෝ කරුණා නමි, නොහොත් දුකට පත්වූවන් කෙරෙහි පැතිරවීම් වශයෙන් පවත්වනු ලැබෙති’යි කරුණා නමි. එය (මුදිතා ගුණය) හේතුකොටගෙන එම ගුණයෙන් සමන්විත පුද්ගලයෝ සතුටුවෙති’යි හෝ, තමාම සතුටුවෙති’යි හෝ, හුදෙක් මෝදනයට පත්වීම හෝ මුදිතා නමි. ‘වෛර නැත්තෝ වෙත්වා’ යන ආදී ව්‍යාපාරයන් පහවීමෙන්ද, මධ්‍යස්ථභාවයට පැමිණීමෙන්ද උපෙක්‍ෂා කෙරෙති’යි උපෙක්ඛා නමි.
ලක්‍ෂණාදී වශයෙන් වනාහි මෙහි මෙත්තා ගුණය හිතවත් ආකාරයෙන් පැවැතීම ලක්‍ෂණකොට ඇත්තේය, (සත්ත්‍වයන් වෙත) හිතවත්බව පැවැත්වීම කෘත්‍යකොට ඇත්තේය, ආඝාතය හෙවත් වෛරය දුරුකිරීම වැටහීමකොට ඇත්තේය, සත්ත්‍වයන්ගේ මනාප බව දැකීම ආසන්න කාරණකොට ඇත්තේය. ව්‍යාපාදය ශමනයවීම මෙහි සම්පත්තියයි, තෘෂ්ණා ස්නේහයේ උපත මෙහි විපත්තියයි. කරුණාව දුක් ඉවත්කිරීම් ආකාරයෙන් පැවැතීම ලක්‍ෂණකොට ඇත්තේය, අනුන්ගේ දුක් නො-ඉවසීම කෘත්‍යයකොට ඇත්තේය, අවිහිංසාව වැටහීම්කොට ඇත්තේය, දුකින් පීඩිත වූවන්ගේ අසරණබව දැක්ම ආසන්නකරණ කොට ඇත්තේය, හිංසාව දුරුවීම එහි සම්පත්තියයි, ශෝකය ඉපදීම එහි විපත්තියයි. මුදිතා ගුණය ප්‍රමෝදයට පත්වීම ලක්‍ෂණ කොට ඇත්තේය, ඊර්ෂ්‍යා නොකිරීම කෘත්‍යයකොට ඇත්තේය, අරතිය නැසීම වැටහීම්කොට ඇත්තේය, සත්ත්‍වයන්ගේ සම්පත් දැකීම ආසන්නකාරණකොට ඇත්තේය, අරතිය (කුසල්හි නොඇලීම) සන්සිඳුවීම එහි සම්පත්තියයි, ප්‍රහාසය (ගේහසිතප්‍රීතිය) හටගැනීම විපත්තියයි. උපෙක්ඛාගුණය සත්ත්‍වයන් වෙත මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ලක්‍ෂණකොට ඇත්තේය, සත්ත්‍වයන් කෙරෙහි සමබැව් දැක්ම කෘත්‍යයකොට ඇත්තේය, ද්වෙෂය හා ඇල්ම සන්සිඳුවීම වැටහීම්කොට ඇත්තේය. ‘සත්ත්‍වයෝ කර්මය උරුමයකොට ඇත්තාහුය, ඔවුහු අන් කවරකුගේ රුචියට අනුව සුඛිත වන්නාහුද? දුකින් මිදෙන්නාහුද? ලද සැපතින් නොපිරිහෙන්නාහුදැ’යි, මෙසේ පවත්නා කර්මස්වකතාව දැකීම ආසන්න කාරණකොට ඇත්තේය, ද්වෙෂය හා ඇල්ම දුරුවීම එහි සම්පත්තියයි, ගේහසිත වූ අඥාන උපෙක්‍ෂාවෙහි උපත එහි විපත්තියයි.
මෙම බ්‍රහ්මවිහාර සතරටම විදර්ශනා සුඛයද භවසම්පත්තියද පොදු ප්‍රයෝජන වේ. ව්‍යාපාදාදිය නැසීම ආවේණික ප්‍රයෝජන වේ. මෙහි මෙත්තා ගුණය ව්‍යාපාදය නැසීම ප්‍රයෝජනකොට ඇත්තේය, කරුණාදී සෙසු විහාර තුන පිළිවෙළින් හිංසාව, අරතිය හා රාගය නැසීම ප්‍රයෝජනකොට ඇත්තේය. කියන ලදමැයි:
“ඇවැත්නි, යම් මේ මෙත්තා චෙතොවිමුත්තියක් වේද, එය ව්‍යාපාදයට ප්‍රහාණ වන්නේය, යම් මේ කරුණා චෙතොවිමුත්තියක් වේද, එය විහිංසාවට ප්‍රහාණ වන්නේය, යම් මේ මුදිතා චෙතොවිමුත්තියක් වේද, එය අරතියට ප්‍රහාණ වන්නේය, ඇවැත්නි, යම් මේ උපෙක්ඛා චෙතොවිමුත්තියක් වේද, එය රාගයට ප්‍රහාණ වන්නේය” යනුයි.