විසුද්ධි මාර්ගය
(ප්‍රථම භාගය)
නිදාන ආදී කථා
‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපී නිපකො භික්‍ඛු සො ඉමං විජටයෙ ජටං’
ආතාපී නිපකො භික්‍ඛු සො ඉමං විජටයෙ ජටං’
සිල්හි පිහිටා සිත - පැනද, වඩන පැනැතියේ
තවසර නිපුණ යතිවර - තෙමේ මෙගැට ලිහාලයි.
තවසර නිපුණ යතිවර - තෙමේ මෙගැට ලිහාලයි.
මෙය මෙසේ කියන ලදුයේමැයි; කවුරුන් විසින් මෙය වදාරන ලදුයේද, යත්, සැවැත් නුවර වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත රාත්‍රිභාගයෙහි එළඹ එක්තරා දේවපුත්‍රයෙක් තමාගේ සැකයක් දුරු කරගනු පිණිස,
‘අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටං’
තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටං’
ඇතුළු ගැට පිට ගැට - ලෝසතැ’ත ගැටෙනි වෙළී
අසමි හිමි ගොයුමාණෙනි - කවුරු මෙගැට ලිහාදැ’යි
අසමි හිමි ගොයුමාණෙනි - කවුරු මෙගැට ලිහාදැ’යි
යන මේ ප්‍රශ්නය ඇසීය. එහි අරුත් සැකෙවින් මෙසේයි: ජටා යනු, අකුලක් වැනි තෘෂ්ණාව හැඟවීම සඳහා වූ අධිවචනයෙකි; එම තෘෂ්ණාව රූපාදී අරමුණු කෙරෙහි යටිකුරු උඩුකුරු වශයෙන් යළි යළිදු ඉපැදීමේ හේතුවෙන්, එකිනෙක පැටලීමේ අරුතින්, හුණ පඳුරු ආදියෙහි අතුපතර එකිනෙක හෙවී පැටලී සෑදුණු දැලක්, නොහොත් අකුලක් වැනි වූ හෙයින් එනම් වේ. ඒ මේ තෘෂ්ණාව වූ කලී තමන් සතුවූ හා අනුන් සතු වූ පරිභෝග වස්තුන් කෙරෙහිද, තමන්ගේ හා අනුන්ගේ ආත්මභාවයන් කෙරෙහිද, අභ්‍යන්තර හා බාහිර ආයතනයන් කෙරෙහිද, උපදනා හෙයින් ‘අන්තො ජටා බහි ජටා’යි කියනු ලැබේ. මෙසේ උපදනා එවන් ගැටයෙන් ලෝක සත්ත්‍වයා වෙළී පැටලී ඇත. යම්සේ හුණ ආදිය හුණ අකුලින් වෙළී පැටලී ඇත්ද, එසේම එම තෘෂ්ණා නමැති අකුලින් මේ සියලු සත්ත්‍වකාය සංඛ්‍යාත ලෝක ප්‍රජාව වෙළී පැටලී ගැටගැසී ඇතැ’යි යන අර්ත්‍ථයි. යම්හෙයකින් මෙසේ පැටලී ඇත්ද, තං තං ගොතම පුච්ඡාමි යනු, එහෙයින් ඔබ වහන්සේගෙන් විමසමි, ගොතම යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ නම්ගොත් වශයෙන් ඇමතූ නියායි; සො ඉමං විජටයෙ ජටං යනු, මෙසේ මේ ත්‍රිවිධ ලෝකධාතුව වෙළාගෙන පවත්නා ගැට කවරෙක් ලිහාද, ලිහාලීමට කවරෙක් සමත් වේදැ’යි විචාළ නියායි.
මෙසේ විචාරණ ලදසේක්, සියලු ධර්මයන් කෙරෙහි නොපැකිලෙන ඥානචාර ඇති, දේවාතිදේව, බ්‍රහ්මාති බ්‍රහ්ම චතුර්වෛශාරද්‍යවිශාරද, දශබලධාරී, අනාවරණඥානසම්පන්න, සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ එම අර්ත්‍ථය විසඳමින්,
‘සීලෙ පතිට්ඨාය -පෙ- සො ඉමං විජටයෙ ජටං’
යන මේ ගාථාව වදාළ සේක.
ඉමිස්සාදානි ගාථාය කථිතාය මහෙසිනා
වණ්ණයන්තො යථාභූතං අත්‍ථං සීලාදිභෙදනං
වණ්ණයන්තො යථාභූතං අත්‍ථං සීලාදිභෙදනං
සුදුල්ලභං ලභිත්‍වාන පබ්බජ්ජං ජිනසාසනෙ
සීලාදිසඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
සීලාදිසඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
යථාභූතං අජානන්තා සුද්ධිකාමාපි යෙ ඉධ
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
තෙසං පාමොජ්ජකරණං සුවිසුද්ධවිනිච්ඡයං
මහාවිහාරවාසීනං, දෙසනානය නිස්සිතං
මහාවිහාරවාසීනං, දෙසනානය නිස්සිතං
විසුද්ධිමග්ගං භාසිස්සං තං මෙ සක්කච්ච භාසතො
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො’ති
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො’ති
මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ගාථාවෙහි ශීලාදි විස්තර ඇතුළත් අර්ත්‍ථය මෙතැන් සිට තත් වූ පරිද්දෙන් වර්ණනා කෙරෙමින්, අතිශය දුර්ලභ වූ බුද්ධශාසනයෙහි පැවිදිබව ලැබපවා ශීලාදී වශයෙන් සංග්‍රහ කරනලද, ක්ෂේම වූ සෘජුවූ විශුද්ධි මාර්ගය,
තත්වූ පරිද්දෙන් නොදත් ඇතැම් යෝගීකෙනෙක් මේ ශාසනයෙහි, පිරිසිදුබව පතමින් වීර්ය වඩන්නාහුද විශුද්ධියට නොපැමිණෙත්,
ඔවුන්හට ප්‍රමෝදජනකවන ආකාරයට ඉතා පිරිසුදු ලෙස විනිශ්චය කොට, මහාවිහාරවාසීන්ගේ දේශනා ක්‍රමය ඇසුරු කරමින්,
විශුද්ධි මාර්ගය පවසන්නෙමි. මවිසින් එසේ කියනු ලබන විශුද්ධි මාර්ගය, විශුද්ධිකාමී සියලු සජ්ජනයෙනි, මනාකොට ශ්‍රවණය කරවු.
එහි විසුද්ධි යනු, සියලු කෙලෙස්මල විරහිත වූ, අත්‍යන්තයෙන් පරිශුද්ධ වූ නිර්වාණය’යි දතයුතුය. එවන් විශුද්ධියට මගවූ හෙයින් ‘විසුද්ධිමග්ග’ නමි. මග්ගො යනු, අධිගමයට උපායයයි කියනු ලැබේ. එම විශුද්ධි මාර්ගය කියන්නෙමි’යි යන අර්ත්‍ථයි.
ඒ මේ විශුද්ධි මාර්ගය තෙමේ කිසි තැනෙක්හි විදර්ශනා මාත්‍ර වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්‍ඛෙ එස මග්ගො විසුද්ධියා’
අථ නිබ්බින්‍දති දුක්‍ඛෙ එස මග්ගො විසුද්ධියා’
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ’යි යම්කලෙක ප්‍රඥාවෙන් දකියිද, එවිට සසරදුක් කෙරෙහි කලකිරෙයි, මෙය විශුද්ධියට මාර්ගයයි.
කිසි තැනෙක්හි ධ්‍යානප්‍රඥා වශයෙන් දේශිතයි, යම්සේ වදාළෝද:
‘යම්හි ඣානඤ්ච පඤ්ඤා ච ස වෙ නිබ්බාණසන්තිකෙ’
යම් කෙනෙකු, වෙත ධ්‍යානයද, ප්‍රඥාවද ඇතහොත්, ඔහු නිර්වාණය අසලමය.
කිසි තැනෙක්හි කර්මාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
‘කම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා’
එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා’
කර්මය, විද්‍යාය, ධර්මය, ශීලය, උතුම් දිවිමඟය යන මෙයින් මනුෂ්‍යයෝ පිරිසුදු වෙති, ගෝත්‍රයෙන් හෝ ධනයෙන් එසේ නොවෙති.
කිසිතැනෙක්හි ශීලාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
‘සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සූසමාහිතො
ආරද්ධවීරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං’
ආරද්ධවීරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං’
සියලු කල්හි ශීලසම්පන්න වේද, ප්‍රඥා ඇත්තේද, සන්සුන් සිත් ඇත්තේද, අරඹන ලද වීර්ය ඇත්තේද, පධන්වීර්‍ය්‍ය වඩා ඇත්තේද හෙතෙමේ දුකසේ තරණය කළයුතු හොය තරණය කරයි.
කිසි තැනෙක්හි සතිපට්ඨානාදි වශයෙන් දේශිතයි. යම්සේ වදාළෝද:
‘එකායනො අයං භික්‍ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා-පෙ- නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’
‘මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයෙක් වේද, එය වූකලී සත්ත්‍වයාගේ විශුද්ධිය පිණිස-පෙ-නිවන් අවබෝධ කිරීම පිණිස ඇති ඒකායන මාර්ගයයි.’
සම්‍යක්ප්‍රධානාදී විෂයෙහිද, මේ ක්‍රමයමැයි. මෙම ප්‍රශ්නය විසඳීමෙහිදී වනාහි ශීලාදී වශයෙන් දේශිතයි.
එහි අර්ත්‍ථ වර්ණනය සැකෙවින් මෙසේයි: සීලෙ පතිට්ඨාය යනු, සිල්හි පිහිටා, සිල් මැනවින් පුරන්නේම සිල්හි පිහිටියේයයි කියනු ලැබේ, එහෙයින් සිල් පිරීම් වශයෙන් සිල්හි පිහිටා’යි යනු මෙහි අර්ත්‍ථයි. නරො යනු, සත්ත්‍ව තෙමේයි, සපඤ්ඤො යනු, කර්මය හේතුකොට උපන් ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තේයි, චිත්තං පඤ්ඤඤ්ච භාවයං යනු, සමාධි හා විදර්ශනා වඩන්නේයි; මෙහි වනාහි ‘චිත්ත’ යනුවෙන් සමාධියද, ‘පඤ්ඤා’ යනුවෙන් විදර්ශනාවද, දක්වන ලදි. ආතාපි යනු, වීර්ය ඇත්තේයි. වීර්යය වනාහි කෙලෙසුන් තවන දවන අරුතින් ‘ආතාප’ යයි කියනු ලැබේ. එය ඇතැයි යන අරුතින් ‘ආතාපී’ නමි. නිපකො යනු, නිපකභාවය ප්‍රඥායයි කියනු ලැබේ. එම ප්‍රඥාවෙන් සමන්විත වූයේ’යි යන අර්ත්‍ථයි. මෙම පදයෙන් වනාහි ව්‍යවහාරික ප්‍රඥාව දක්වයි. මෙම පැන විසඳීමෙහිදී වනාහි ප්‍රඥාව තුන් වරක් එයි, එහි පළමුවැන්න සහජ ප්‍රඥාවයි. දෙවැන්න විදර්ශනා ප්‍රඥාවයි. තෙවැන්න සියලු කටයුතු හසුරුවන ව්‍යවහාරික ප්‍රඥාවයි. සසර බිය දකිති’යි ‘භික්‍ඛු’ නමි. ‘සො ඉමං විජටයෙ ජටං’ යනු, මෙම ශීලයෙන්ද, ‘චිත්ත’ යන ශීර්ෂයෙන් දක්වන ලද මෙම සමාධියෙන්ද, මෙම ත්‍රිවිධ ප්‍රඥාවෙන්ද, මෙම ආතාපී ගුණයෙන්දැයි යන කරුණු සයකින් සමන්විත භික්‍ෂු තෙමේයි; යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ පොළෝ මත සිට ඉතා තියුණු සැතක් ඔසවා මහත්වූ හුණ පඳුරක් සිඳ අවුල්හැර හෙලන්නේද, එසේම ශීලයෙහි පිහිටා සමාධි නමැති හණගලෙහි මුවහත් තබනලද විදර්ශනා ප්‍රඥා නමැති සැත වීර්ය බලයෙන් මෙහෙයවන ලද ව්‍යාවහාරික ප්‍රඥා නමැති අතින් ඔසවා ස්වසන්තානයෙහි පවත්නා තෘෂ්ණා නමැති ඒ අකුල මුළුමනින්ම ලිහාලන්නේයි, සිඳලන්නේයි, මුලුසුන් කරන්නේයි; හේ තෙමේ වනාහි මාර්ගක්‍ෂණයෙහි ඒ තෘෂ්ණාජටාව ලිහාලන්නේය; ඵලක්‍ෂණයෙහි ලිහාලූ ජටා ඇත්තේ දෙවියන් සහිත ලෝකයාට අග්‍රදක්‍ෂිණාර්හ බවට පත්වන්නේය. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ:-