9. බ්‍රහ්මවිහාර නිද්දේසය
මෙත්තාභාවනාකථා
අනුස්සති කර්මස්ථානයනට අනතුරුව දක්වනලද මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මේ සතර බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෙත්තාවිහාරය, වඩනු කැමැති ආධුනික යෝගාවචරයා විසින් පලිබෝධයන් සිඳහැර කමටහන් ගෙන බත්කිස නිමවීමෙන් පසු බත්මත දුරහැර විවේක සහිත තැනෙක්හි මනාකොට පනවනලද අස්නෙක සුවසේ හිඳ, පළමුකොට ද්වෙෂයෙහි ආදීනවද ඉවසීමෙහි ආනිසංසද මෙනෙහි කළ යුතුය.
කවර හෙයින්ද යත්, මේ භාවනාවෙන් වනාහි ද්වෙෂය පහකළ යුතුය, ඉවසීම පුරුදු කළ යුතුය. ආදීනව නොදුටු කිසිවක් පහකිරීම හෝ ආනිසංස නොදත් කිසිවක් ලබාගැනීම හෝ නොකළහැකි වේ. එහෙයින්, “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභූතො පරියාදින්තචිත්තො පාණම්පි හන්ති” (ඇවැත්නි, ද්වෙෂයෙන් මඩනා ලද, හාත්පසින් අල්වාගන්නාලද, ද්වේෂයෙන් දූෂිත සිත් ඇති පුද්ගලයා පරපණද නසයි) යන මේ ආදී පාඨයන්ගේ වශයෙන් ද්වෙෂයෙහි ආදීනව දැකිය යුතුය.
“ඛන්තී පරමං තපො තිතික්‍ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා” (ඉවසීම ලක්‍ෂණකොට ඇති ක්‍ෂාන්තිය උතුම්ම තපසැයිද, නිර්වාණය උතුම් යයිද බුදුවරයෝ පවසති),
‘ඛන්තී බලං බලානීකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං” (ඉවසීමේ බලය ඇතිකරගත් ඉවසීම් බලයෙන් යුත් ඔහු බ්‍රාහ්මණයෙකි’යි කියමි),
“ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති” (ඉවසීමට වඩා බලයක් විද්‍යමාන නොවේ) යන ආදී පාඨයන්ගේ වශයෙන් ඉවසීමෙහි අනුසස් දත යුතුය.
ඉක්බිති මෙසේ දක්නාලද ආදීනව ඇති ද්වෙෂයෙන් සිත වෙන්කරනු පිණිසද, මෙසේ දන්නාලද අනුසස් ඇති ඉවසීම හා සමග සිත සංයෝග කරනු පිණිසද මෛත්‍රී භාවනාව ඇරඹිය යුතුය. එසේ අරඹන්නහු විසින් පළමුකොටම පුද්ගලභේදය දතයුතුය. මෙවන් පුද්ගලයන් කෙරෙහි පළමුකොට මෛත්‍රී වැඩියයුතුය, මෙවන් පුද්ගලයන් කෙරෙහි (පළමුකොට) නොවැඩිය යුතුය යනුවෙනි.
මේ මෛත්‍රී භාවනාව වනාහි අප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉතා ප්‍රිය සහායකයා කෙරෙහිද, මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහිද, වෛරී පුද්ගලයා කෙරෙහිද යන මේ සතර දෙනා කෙරෙහි පළමුකොට නොවැඩිය යුතුය. විසදෘශ ලිංගිකයන් කෙරෙහිද මළවුන් කෙරෙහිද විශේෂයෙන් පළමුකොට නොවැඩිය යුතුය. කවරහෙයින්ද යත් අප්‍රියයා ප්‍රියයකු ලෙස සලකනුයේ වෙහෙසට පත්වෙයි. ඉතා ප්‍රිය මිත්‍රයා මධ්‍යස්ථයකු ලෙස සලකනුයේද වෙහෙසට පත්වෙයි. ඔහුට ස්වල්පමාත්‍ර වූද දුකක් පැමිණිවිට හඬන වැලපෙන තත්ත්‍වයට පත්වූවෙක් වේ. මධ්‍යස්ථයා ගරුතන්හිද ප්‍රියතන්හිද ලා සලකනුයේද වෙහෙසට පත්වේ. වෛරී පුද්ගලයා ගැන සිහි කරන්නහුට ද්වෙෂය උපදියි. එහෙයින් මෙකී අප්‍රිය ආදීන් කෙරෙහි පළමුකොට නොවැඩිය යුතුය.
විසදෘශ ලිංගිකයන් කෙරෙහි, විශේෂකොට එක් පුද්ගලයකු කෙරෙහි, මෙත් වඩන්නහුට රාගය උපදියි. එක්තරා අමාත්‍යපුත්‍රයෙක් තම නිවසට නිතර එළඹෙන තෙරණු කෙනකුගෙන් “කවුරුන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුත්තේද ස්වාමීනි”යි විමසීය. තෙරණුවෝ “ප්‍රිය පුද්ගලයා කෙරෙහිය”යි කීහ. ඔහුට වනාහි සිය බිරිය ඉතා ප්‍රිය වන්නීය. හේ තෙමේ ඇය කෙරෙහි මෙත් වඩනුයේ මුළු රාත්‍රිය පුරා භිත්ති යුද්ධය (බිත්තිය සමඟ පොර බැඳීම) කළේය. එහෙයින් විසදෘශ ලිංගිකයා කෙරෙහි විශේෂයෙන් මෙත් නොවැඩිය යුතුය.
මළ තැනැත්තකු කෙරෙහි මෙත් වඩනුයේ අර්පණාවට හෝ උපචාරයට හෝ පැමිණිය නොහේ. එක්තරා තරුණ යතිවරයෙක් ස්වකීය ආචාර්යවරයා ඇරබ මෙත් වැඩීම ඇරඹීය. ඔහුගේ මෛත්‍රීය නොපවතියි. හේ තෙමේ මහතෙර කෙනකු වෙත ගොස්, “ස්වාමීනි, මෛත්‍රී ධ්‍යාන සමාපත්ති මවිසින් පුරුදු කරන ලද්දේය, එසේ වුවද එම සමාපත්තියට සමවදිනු නොහැක්කෙමි, කවර හෙයින්දැ’යි විමසීය. තෙරණුවෝ, “ඇවැත්නි, නිමිත්ත ගැන සොයා බලන්නැ’යි කීහ. ඒ තරුණ භික්‍ෂු තෙමේ සොයා බලනුයේ ආචාර්යවරයා අපවත්ව ඇති බැව් දැන අන් කෙනකු ඇරබ මෙත් වඩා සමාපත්තියට පැමිණියේය. එහෙයින් මියගිය කෙනකු වෙත මෙත් නොවැඩිය යුතුමය.