කරුණා භාවනාව
කරුණාව වඩනු කැමැත්තහු විසින් කරුණා රහිත බවෙහි ආදීනවද කරුණාවෙහි ආනිසංසද මෙනෙහිකොට කරුණා භාවනාව ඇරඹිය යුතුය. එය අරඹන්නහු විසින් පළමුකොට ප්රිය පුද්ගලාදීන් කෙරෙහි නොඇරඹිය යුතුය. ප්රිය පුද්ගලයා ප්රිය තන්හිම සිටියි, අතිප්රිය සහායකයා අතිප්රිය තන්හිම සිටියි. මධ්යස්ථයා මධ්යස්ථ තන්හිම සිටියි, අප්රිය පුද්ගලයා අප්රිය තන්හිමද, වෛරී පුද්ගලයා වෛරී ස්ථානයෙහිමද සිටියි. නොසම ලිංග ඇත්තාහුද මළාහුද අක්ෂෙත්ර වන්නාහුමය.
“කෙසේනම් භික්ෂු තෙමේ කරුණාසහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරන්නේද යම්සේ වනාහි දිළිඳුවූ දුකට පත්වූ කිසියම් පුද්ගලයකු දැක කරුණා උපදවන්නේද, එසේම සියලු සත්ත්වයන් වෙත කරුණාව පතුරුවන්නේය”යි විභංගයෙහි කියන ලද හෙයින් සියල්ලට පළමු කරුණා කළයුතුවූ ඉතා දුකට පත්වූ, දිළිඳු වූ, දුර්භග වූ, අත්පා කැඩුණු බිඳුණු, කබල ඉදිරියෙන් තබා අනාථ මඩමෙහි හොත්, අත්පාවලින් වැගිරෙන පණුකැලින් යුත්, දුක්මුසු හඬින් හඬන කිසියම් බැගෑපත් පුරුෂයකු දැක මේ සත්ත්ව තෙමේ ඒකාන්තයෙන් දුෂ්කරත්වයට පත් වූවෙකි. මොහු මේ දුකින් මිදෙන්නේ නම් යෙහෙකැ’යි කරුණාව පැවැත්විය යුතුය. එබන්දකු නොලැබෙතොත් සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයකු වධයට ගොදුරු වූවකු සේ සලකා කරුණාව පැතිරවිය යුතුය.
කෙසේද? යම්සේ බඩුත් සමග අල්වා ගන්නාලද සොරකු ‘මොහුට වධ කරවූ’ යයි රජු විසින් අණ කරන ලද රාජපුරුෂයෝ සතරමංසන්ධියක් පාසා පහර සියගණන් දෙවමින් වධස්ථානයට ගෙනයත්ද, එවිට මිනිස්සු ඔහුට කෑයුතු බිදියයුතු දෙයද, මල් ගඳවිලවුන්ද බුලත්ද දෙන්නාහුද, ඒ පුරුෂයාද ඒවා කමින් බුදිමින් භෝගයෙන් අනූන සුවපත් පුද්ගලයකු සෙයින් යන්නේ නමුදු, “මොහු මහාභෝග ඇති සුවපත් වූවෙකි”යි කිසිවෙක් නොහඟියි, “ඒකාන්තයෙන් අභාග්යසම්පන්නවූ මේ තෙමේ දැන් මරණයට පත් වන්නේය, මේ තෙමේ යම් පියවරක් තබන්නේ නම් ඒ පියවරින් මරණය කරාම ළං වන්නේය”යි ජනයා ඔහු කෙරෙහි අනුකම්පා කෙරෙත්ද, එසේම කරුණා කර්මස්ථානයෙහි යෙදුණු භික්ෂුව විසින් සුඛිතවූද ඒ (පාපකාරී) පුද්ගලයා කෙරෙහි මේ ආකාරයෙන් කරුණාව පැතිරවිය යුතුය: “මේ අසරණයා දැන් මෙසේ සුවපත්ව, මනාකොට සැරසී භෝගයන් වළදන්නේ නමුදු, තුන් දොරින් එක් දොරෙකින් හෝ කළ සත් ක්රියාවක් නැති හෙයින් දැන් දැන් අපායෙහි දැඩි දුක් දොම්නස් විඳින්නේය”යි
මෙසේ ඒ (පාපකාරී) පුද්ගලයා කෙරෙහි කරුණාව පතුරුවා, ඉක්බිති එම නියායෙන්ම ප්රිය පුද්ගලයා කෙරෙහිද, ඉක්බිති මධ්යස්ථයා කෙරෙහිද ඉන් ඉක්බිති වෛරී පුද්ගලයා කෙරෙහිද අනුක්රමයෙන් කරුණාව පැවැත්විය යුතුය. ඉදින් ඉහත (මෙත්තා භාවනාවෙහි) කී -ලෙසින් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වෙෂය උපදී නම්, එය එම මෙත්තා භාවනාවෙහි කී ලෙසින්ම සන්සිඳුවිය යුතුය. මෙහි කරන ලද කුසල් ඇත්තකු නම්, ඥාතිව්යසන, රෝගව්යසන, භොගව්යසන ආදිය අතුරෙන් කිසියම් ව්යසනයෙකින් ඔහු විපතට පත්වූ විටෙක, දැක හෝ අසා හෝ, එබඳු ව්යසනයක් දකින්නට අසන්නට නැතිවිට, සංසාර දුක් නොඉක්ම වූ හෙයින්, “මේ තෙමේ දුක්පත් වූයේම”යයි මෙසේ සියලු ආකාරයෙන් කරුණා පතුරුවා, ඉහත කී -නයින්ම තමා කෙරෙහිද, ප්රිය පුද්ගලයා කෙරෙහිද, මධ්යස්ථයා කෙරෙහිද, වෛරී පුද්ගලයා කෙරෙහිදැ’යි මේ සිවු දෙනා කෙරෙහි සීමාසම්භෙද කොට (සමසිත් ඇත්තෙක්ව) එම සමථ නිමිත්තය සෙවුමින්, වඩමින්, පුරුදු කෙරෙමින් මෛත්රී භාවනාවෙහි කී -නයින්ම ත්රික චතුෂ්ක ධ්යාන වශයෙන් අර්පණා වැඩිය යුතුය.
අඞ්ගුත්තර අටුවාවෙහි වනාහි ‘පළමුකොට වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා පැවැත්විය යුතුය, ඔහු කෙරෙහි සිත මොලොක් කොට, ඉන් අනතුරුව දුර්ගත පුරුෂයා කෙරෙහිද, ඉන් ඉක්බිති ප්රිය පුද්ගලයා කෙරෙහිද, ඉන් ඉක්බිති තමා කෙරෙහිදැ’යි යන මේ ක්රමය කියනලදි. එම ක්රමය “දුග්ගතං දුරුපෙතං” යන පෙළ හා සමග නොසැසඳෙයි. එහෙයින් මෙහි කියනලද නයින්ම භාවනාව අරඹා සීමාසම්භෙදකොට අර්පණා වැඩියයුතුය. ඉක්බිති පස් ආකාරයෙන් අනවධි වශයෙන් පැතිරවීමද, සත් ආකාරයෙන් අවධි වශයෙන් පැතිරවීමද, දශ ආකාරයෙන් දිශා අනුව පැතිරවීමදැයි යන මේ විකුබ්බනාව (ඔධිසො අනොධිසො ඵරණය හෙවත් අවධි වශයෙන් හා අනවධි වශයෙන් පැතිරවීම) ද, “සුඛං සුපති” යන ආදී ආනිසංසද මෛත්රී භාවනා විෂයෙහි කී -නයින්ම දත යුතුය.
මේ කරුණා භාවනාව පිළිබඳ විස්තර කථායි.
මුදිතා භාවනාව
මුදිතා භාවනාව අරඹන්නහු විසින්ද පළමුකොට ප්රියපුද්ගලාදීන් වෙත නොඇරඹිය යුතුය. ප්රිය පුද්ගලයා ප්රියවූ පමණෙකින්ම මුදිතාවට ආසන්න කාරණ නොවේ, මධ්යස්ථ හා වෛරී පුද්ගලයෝ කැලම නොවෙති, අසමලිංගිකයෝද මළගියාහුද අවිෂය වූවෝමය.
ඉතාප්රිය සහායකයා වනාහි මුදිතාවට පදට්ඨාන හෙවත් ආසන්න කාරණ වන්නේය. යම් සහායකයෙක් ‘සොණ්ඩසහාය’ යනුවෙන් අටුවායෙහි කියනලද, හේ තෙමේ වනාහි අතිශයින්ම මුදිත වූවෙකි. පළමුකොට සිනාසී පසුව කතාකරයි, එහෙයින් පළමුකොට එවන් සහායකයකු වෙත මුදිතාව පැතිරවිය යුතුය. නැතහොත් සුඛිතවූ, ප්රමුදිත වූ, ප්රීතිමත්වූ ප්රිය පුද්ගලයකු දැක හෝ අසා හෝ, “මේ සත්ත්ව තෙමේ ඒකාන්තයෙන් මුදිතවූයේ වේ, අහෝ මැනවි, අහෝ යෙහෙකි”යි මුදිතා චිත්තය ඉපැදවිය යුතුය. මෙම අර්ත්ථයම සලකා විභංගයෙහි, “භික්ෂු තෙමේ මුදිතාසහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි ප්රියමනාප වූ එක්තරා පුද්ගලයකු දැක මුදිත වන්නේද, එසේම සියලු සත්ත්වයන් කෙරෙහි මුදිතාචිත්තය පතුරුවන්නේය”යි කියන ලදි.
ඉදින් ඒ සොණ්ඩසහායකයා නැතහොත් ප්රිය පුද්ගලයා අතීතයෙහි සුඛිතවූයේද, එහෙත් දැනට දිළිඳුවූයේ, දුශ්චරිතයෙන් යුක්තවූයේ වේද, එවිට ඔහුගේ අතීත වූ සුඛිතභාවයම සිහිකොට, “මේ තෙමේ අතීතයෙහි මෙවන් මහාභෝග ඇත්තේ, මහපිරිවර ඇත්තේ නිරන්තරයෙන් ප්රමුදිත වූයේය”යි ඔහුගේ ඒ අතීත මුදිතාකාරයම ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය. “අනාගතයෙහි හෝ නැවත එවන් සම්පත් ලැබ ඇතු පිටින්, අසු පිටින්, රන් දෝලාවෙන් හැසිරෙන්නේය”යි ඔහුගේ අනාගතය මුදිතාකාරයෙන් ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය.