උපසමානුස්සති භාවනාව
ආනාපානසති භාවනාවට අනතුරුව දක්වනලද මේ උපසමානුස්සති භාවනාව වඩනු කැමැති යෝගාවචරයා විසින්, රහසිගතව, විවේකීව, “යාවතා භික්‍ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං ධම්මානං අග්ගමක්‍ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්‍ඛයො විරාගො නිරොධො නිබ්බාණං” (මහණෙනි, යම්තාක් සංඛත වූ හෝ අසංඛත වූ ධර්මයෝ ඇත්තාහුද, විරාගය (නිර්වාණය) ඒ සියලු ධර්මයනට අග්‍රය’යි කියනු ලැබේ, ඒ මේ විරාගය තෙමේ රාගාදී මදයන් නිර්මද කරන්නේය, රාගාදී පිපාසයන් දුරලන්නේය, පංචකාමගුණ සංඛ්‍යාත ආලය (ඇලීම) නසන්නේය, සසරවට සිඳලන්නේය, තෘෂ්ණාව ක්‍ෂය කරන්නේය, රාගයෙන් තොර වන්නේය, සසරදුක් අවුරන්නේය, වාණ’ යයි කියනු ලබන තෘෂ්ණාව නැති කරන්නේය) යනුවෙන් මෙසේ සියලු දුක් ශමනය කෙරෙති’යි කියනලද නිර්වාණය පිළිබඳ ගුණ සිහි කළයුතුය.
එහි යාවතා යනු, යම්තාක්, යම් පමණ, ධම්මා යනු ස්වභාවයෝ, සඞ්ඛතා වා අසඞ්ඛතා වා යනු, එකතුව, එක් රැස්ව, හේතූන් විසින් ඇති කරන ලද හෝ එසේ නොකරන ලද ධර්මයෝය. විරාගො තෙසං ධම්මානං අග්ගමක්‍ඛායති යනු, ඒ සංඛත අසංඛත ධර්මයන් අතුරෙන් විරාගය අග්‍රයයිද, ශ්‍රේෂ්ඨයයිද, උත්තමයයිද කියනු ලැබේ. එහි විරාගො යනු, රාගය පිළිබඳ අභාවමාත්‍රය හෙවත් නොවීම පමණක් නොවේ. වැලිදු, යදිදං මද නිම්මදනො- පෙ නිබ්බාණං යනු, යම් ඒ අසංඛත ස්වභාවයක් මදනිම්මදන මත්වූ ස්වභාවය ඉවත් කිරීම ආදී නාමයන් ලබන්නේද ඒ ස්වභාවය විරාගයයි දතයුතුය. යම් හෙයකින් එයට පැමිණ සියලු මානමද පුරිසමදාදීවූ සියලු මදයෝ (මත්වීම්) නිර්මද බවට යෙත්ද, මදරහිත වෙත්ද, නැසෙත්ද, එහෙයින් එම විරාගය මදනිම්මදනයයි කියනු ලැබේ. යම්හෙයකින් එයට පැමිණ සියලු කාමපිපාසයෝ විනාශයට, අභාවයට යෙත්ද, එහෙයින් එම විරාගය පිපාසවිනයයි කියනු ලැබේ. යම් හෙයකින් එයට පැමිණ පංචකාම ගුණ නමැති ආලයයෝ විනාශයට යෙත්ද, එහෙයින් ආලය සමුග්ඝාතයයි කියනු ලැබේ, යම් හෙයකින් එයට පැමිණ තුන්බුමු සසරවට සිඳිනු ලැබේද, එහෙයින් වට්ටුපච්ඡෙදයයි කියනු ලැබේ, යම් හෙයකින් වනාහි එයට පැමිණ සියලු ආකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂයභාවයට යේද, ඇලුම් රහිතබවට යේද, නිරුද්ධභාවයට යේද, එහෙයින් ‘තණ්හක්ඛය’ යයිද, ‘විරාග’යයිද, ‘නිරොධ’ යයිද කියනු ලැබේ, යම් හෙයකින් වනාහි මේ විරාගය තෙමේ යෝනි සතරය, ගති පසය, විඥානස්ථිති සතය, සත්තාවාස නවයය, යන මොවුන් අනික් අනික් ස්වභාවයට හරවමින් බැඳ තබන හෙයින් පටලවන හෙයින් ‘වාන’ යයි ව්‍යවහාරයට පත් තෘෂ්ණාව කෙරෙන් නිකුත් වූයේද, ඉකුත් වූයේද, වෙන් වූයේද, එහෙයින් ‘නිබ්බාණ’ යයි කියනු ලැබේ.
මෙසේ මේ මදනිම්මදනතාදී ගුණයන්ගේ අනුසාරයෙන් නිර්වාණයයි කියනු ලබන උපසමය සිහිකළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, තොපට අසංඛත ධර්මයක් දේශනා කරන්නෙමි, සත්‍යවූද, (සසර පිළිබඳ) කෙළවරවූද, ඉතා දුකසේ දැකියයුතු වූද, ජරාවට ප්‍රතිපක්‍ෂ වූද, නිත්‍ය වූද, (තෘෂ්ණාදී) ප්‍රපංචරහිත වූද, මරණයට ප්‍රතිපක්‍ෂ වූද, සුන්දර වූද, නිරුපද්‍රැත වූද, අද්භූත වූද, ලෝකස්වභාවයට ප්‍රතිපක්‍ෂ වූද, ව්‍යාපාද රහිත වූද, අතිපරිශුද්ධ වූද, රැකවරණ සහිත වූද, ආරක්‍ෂා ස්ථානයක් වූද, (රැකවරණ ඇති) ලෙණක් වූද ධර්මයක් තොපට දේශනා කරන්නෙමි” යනුවෙන් සූත්‍රයන්හි යම් ඒ අන්‍ය වූද (සච්චං, පාරං, සුදුද්දසං, අජරං, ධුවං, නිප්පපඤ්චං, අමතං, සිවං, ඛෙමං, - අබ්භූතං, අනීතිකං, අබ්‍යාපජ්ජං, විසුද්ධිං, දීපං, තාණං, ලෙණං ආදී වශයෙන්) උපසම ගුණයෝ වදාරන ලද්දාහුද, ඒ ගුණයන්ගේ අනුසාරයෙන්ද සිහිකළ යුතුමය.
මෙසේ මදනිම්මදනතා ආදී ගුණ වශයෙන් උපසමය මෙනෙහි කරන යෝගාවචරයාගේ සිත එකල්හි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වෙෂයෙන්-පෙ-මොහයෙන් මඩනා ලද්දේ නොවේ, ඔහුගේ සිත එසමයෙහි සෘජුභාවයට පත්වූයේම වේ. උපසමං ආරබ්භ යනු, බුද්ධානුස්සති ආදියෙහි කියනලද නයින්ම යටපත්කරනලද නීවරණ ඇත්තහුට එක්වරම ධ්‍යානාංගයෝ උපදනාහුය. උපසම ගුණයන්ගේ ගැඹුරුබව හේතුකොටගෙන, නොයෙක් ආකාර ඇති ගුණයන් සිහිකිරීමේ ප්‍රවණතාව හේතුකොටගෙන හෝ, අර්පණාවට නොපැමිණි උපචාරයටම පැමිණ ධ්‍යාන වන්නේය, ඒ මේ ධ්‍යානය තෙමේ උපසම ගුණානුස්මරණ වශයෙන් ‘උපසමානුස්සති’ යන ව්‍යවහාරයට යෙයි.
පළමු අනුස්සතිභාවනා සය මෙන් මෙයද ආර්යශ්‍රාවකයාහටම සිද්ධ වේ. එසේ වුවද උපසමය කෙරෙහි ගෞරව ඇති පෘථග්ජනයා විසින්ද මෙනෙහි කළ යුතුය. ශ්‍රැත වශයෙන්ද උපශම විෂයෙහි සිත පහදීමය. මේ උපසමානුස්සති භාවනාවෙහි නියැලි භික්‍ෂු තෙමේ සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, සන්හුන් ඉඳුරන් ඇත්තේ වෙයි, සන්හුන් සිත් ඇත්තේ වෙයි, හිරිඔතප් දෙකින් යුක්ත වූයේ, ප්‍රසාද දනවනුයේ උතුම් ස්වභාව ඇත්තේ සබ්‍රම්සරුන් අතර ගරු කටයුත්තේ සම්භාවනා කටයුත්තේද වෙයි. උසස් මාර්ගඵලාදියක් අවබොධ කළ නොහැකි වුවහොත් සුගතිපරායණ වෙයි.
තස්මා හවෙ අප්පමත්තො භාවයෙථ විචක්‍ඛණො
එවං අනෙකානිසංසං අරියෙ උපසමෙ සතින්ති.
එහෙයින් නුවණැත්තේ ඒකාන්තයෙන් අප්‍රමාදීව මෙවන් නොයෙක් අනුසස් ඇති ආර්ය වූ උපසමානුස්සති භාවනාව වඩන්නේය.
මේ උපසමානුස්සති භාවනාව පිළිබඳ විස්තර කථාමුඛයයි.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි අනුස්සති කම්මට්ඨාන නිද්දෙස නම් අටවන පරිච්ඡේදය මෙතෙකින් නිමියේය.
9. බ්‍රහ්මවිහාර නිද්දේසය
මෙත්තාභාවනාකථා
අනුස්සති කර්මස්ථානයනට අනතුරුව දක්වනලද මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මේ සතර බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෙත්තාවිහාරය, වඩනු කැමැති ආධුනික යෝගාවචරයා විසින් පලිබෝධයන් සිඳහැර කමටහන් ගෙන බත්කිස නිමවීමෙන් පසු බත්මත දුරහැර විවේක සහිත තැනෙක්හි මනාකොට පනවනලද අස්නෙක සුවසේ හිඳ, පළමුකොට ද්වෙෂයෙහි ආදීනවද ඉවසීමෙහි ආනිසංසද මෙනෙහි කළ යුතුය.