8. අනුස්සති කම්මට්ඨාන නිද්දේසය
මරණානුස්සති භාවනාව
ඉක්බිති මේ දෙවතානුස්සතියට අනතුරුව මරණානුස්සතිය පිළිබඳ භාවනා නිර්දේශය එළඹියේය. එහි මරණ යනු එක් භවයකින් පිරිසුන් ජීවිතෙන්ද්රියයාගේ බිඳී යාමයි. රහතුන්ගේ සසරදුක් සහමුලින් සිඳලන සමුච්ඡේදමරණයයි කියනලද යම් මේ මරණයක් වේනම් එම සමුච්ඡේදමරණයද, මොහොතක් පාසා බිඳෙන, එහෙයින් ක්ෂණභංගයයි කියනලද, සංස්කාරයන්ගේ ක්ෂණික මරණයද, ‘ගස මළේය’, ‘ලෝහය මළේය’ යන ආදී තන්හි සම්මුතිමරණයද මෙහිලා අභිප්රේත නොවේ.
යම් මරණයක් මෙහිලා අභිප්රේත වේද, එය කාලමරණය, අකාලමරණයයි දෙවැදෑරුම් වේ. එහි කාලමරණය පුඤ්ඤක්ඛය (කම්මක්ඛය) හෝ ආයුක්ඛය හෝ උභයක්ඛය වශයෙන් වේ. අකාලමරණය උපච්ඡේදකකම්ම වශයෙන් වේ.
එහි ආයුෂ පවත්වා ගැනීමට හේතුවන ආහාරාදී ප්රත්යය විද්යාමාන කල්හිදු හුදෙක් ප්රතිසන්ධිජනක කර්මය විපාක දී අවසන් වීමෙන් යම් මරණයක් වේනම් එය පුඤ්ඤක්ඛය නම් වේ. ගති, කාල, ආහාරාදී සම්පත් නොමැතිවීමෙන් වර්තමාන කාලයෙහි මිනිසුන්ගේ සියවසක් පමණවු ආයුෂය ක්ෂය වීමෙන් යම් මරණයක් වේනම් මේ ආයුක්ඛය මරණයයි. දූසිමාර, කලාබු ආදී රජුන්ගේ මෙන් ජීවිතයෙන් තොරකරවන්නට සමත් කර්මයක් හේතුකොටගෙන සිඳීගිය ජීවිත ප්රවෘත්ති ඇත්තවුන්ගේද, පූර්වකර්ම වශයෙන් ආයුධප්රහාර ආදී උපක්රම මඟින් සිඳුනාලද ජීවිත ප්රවෘත්ති ඇත්තවුන්ගේද යම් මරණයක් වේනම් මෙය අකාලමරණ නම් වේ. මේ සියල්ලම යට කියනලද ජීවිතේන්ද්රිය උපච්ඡේද යන්නෙහි ඇතුළත් වේ. මෙසේ ජීවිතේන්ද්රිය සිඳී යාමයයි කියනලද මරණය ගැන සිහි කිරීම මරණසති නම් වේ.
එම මරණානුස්සති භාවනාව වඩනු කැමැති යෝගාවචරයා විසින් හුදකලාව විවේකීව, “මරණය සිදු වන්නේය, ජීවිතේන්ද්රියය සිඳීයන්නේය’ යනුවෙන් හෝ, ‘මරණං මරණං’ යනුවෙන් හෝ නුවණින් මෙනෙහි කිරීම පැවැත්විය යුතුය. නුනුවණින් පවත්වන්නාහට වනාහි හිතවත් ජනයාගේ මරණය සිහි කිරීමෙන්, පිය පුතුගේ මරණය සිහි කරන වැදූ මවකට මෙන් ශෝකය උපදියි, අහිතවත් ජනයාගේ මරණය සිහි කිරීමෙන් සතුරකුගේ මරණය සිහි කරන සතුරකුට මෙන් ප්රමෝදය උපදියි, මධ්යස්ථ ජනයාගේ මරණය සිහි කරනවිට මළ සිරුරු දක්නාවිට සොහොන් පල්ලකුට මෙන් සංවේගය නො-උපදියි, තමාගේ මරණය සිහි කරන්නහුට කඩුව ඔසවාගත් වධකයකු දැකීමෙන් බියසුලු පුද්ගලයකුට මෙන් සන්ත්රාසය උපදියි. එහෙයින් මේ සියල්ලම සති, සංවෙග, ඤාණ යන මෙයින් තොරවූ හෙයින් අයොනිසො මනසිකාර හෙවත් නුනුවණින් මෙනෙහි කිරීම වේ. එහෙයින් ඒ ඒ තන්හි මරණ ලද්දාවූද, මළවුද සත්ත්වයන් බලා දුටු විරූ සැපත් ඇති ජනයාගේ මරණය ආවර්ජනය කොට සති, සංවෙග, ඤාණ යන මෙයින් යුතුව “මරණය වන්නේය,” ආදී නයින් මෙනෙහි කිරීම පැවැත්විය යුතුය, මෙසේ මෙනෙහි කිරීම පවත්වනුයේම නුවණින් පවත්වයි, උපාය සහිතව පවත්වයි යන අර්ත්ථයි. මෙසේ මනසිකාරය පවත්වන්නහුටම නීවරණයෝ විනාශයට පත්වෙති, මරණය අරමුණුකොට ඇති සිහිය මනාව පිහිටයි, උපචාරයටම පැමිණි කර්මස්ථාන වේ.
යමකුට මෙපමෙණකින් (නුවණින් මෙනෙහි කිරීමෙන්) එසේ නොවෙතොත්, ඔහු විසින් වධකයකු ලෙසින් තමා වෙත එළඹ සිටින නියායෙන් (වධක පච්චුපට්ඨානතො) ද, සම්පත් විපත් බවට හැරීමේ නියායෙන් (සම්පත්තිවිපත්තිතො) ද, අනුන්ගේ මරණය සිදුවීම අනුව තමාටද මරණය වන නියායෙන් (උපසංහරණතො) ද, ශරීරය බොහෝ දෙනකුට පොදුවීමේ නියායෙන් (කායබහුසාධාරණතො) ද, ආයු දුබල වීමේ නියායෙන් (ආයුදුබ්බලතො) ද, මරණයට නිමිත්තක් නොමැතිවීම් වශයෙන් (අනිමිත්තතො) ද, පරමායුෂ කාලපරිච්ඡේද වශයෙන් (අද්ධානපරිච්ඡෙදතො) ද, චිත්තක්ෂණයන්ගේ කෙටිබැව් වශයෙන් (ඛණපරිත්තතො) ද යන මේ අට ආකාරයෙන් මරණය ගැන මෙනෙහි කළ යුතුය.
එහි වධකපච්චුපට්ඨානතො යනු, වධකයකු එළඹ සිටින නියායෙන් මෙනෙහි කිරීමයි. යම්සේ වනාහි ‘මොහුගේ හිස සිඳිමි’යි කඩුවක් ගෙන ගෙල වටා සිසාරවමින් වධකයෙක් එළඹ සිටින්නේද, එසේම මරණයද එළඹ සිටින්නේමයයි සිහි කටයුතුය. කවර හෙයින්දයත්, උපත හා සමගම මරණයද ආ හෙයිනි, එසේ ජීවිතය තොර කරන හෙයිනි. යම්සේ හතුකැකුලක් මුදුනෙන් ගත් පස් ඇතිව මතුවේද, එසේම, සත්ත්වයෝ ජරා, මරණ දෙක රැගෙනම උපදිති. ඒ එසේමැයි, ඒ සත්ත්වයන්ගේ ප්රතිසන්ධිචිත්තය. ඉපැදෙනු අනතුරුවම, දිරාපත්ව පර්වත ශිඛරයෙකින් වැටුණ ගලක් මෙන් එම චිත්තය හා සමඟ බැඳුණු ස්කන්ධයන් හා සමඟම බිඳීයයි. මෙසේ ක්ෂණික වූ මරණය වනාහි උපත හා සමගම ආයේය, උපන්නහුට මරණය අවශ්යයෙන්ම සිදුවන හෙයින් මෙහි අභිප්රේත මරණය උපත හා සමගම ආයේය. එහෙයින් යම්සේ උදාවූ සූර්යයා අස්තය කරා යන්නේම වේද, යන යන තැනින් මදක් හෝ නොනවතීද, එසේම යම්සේ පර්වතයෙකින් ගලා එන නදියක් වේගවත් ප්රවාහයෙන් තණපත් ආදිය ගෙන ගලාබසීද, මඳකට හෝ නො-නවතීද, එසේම මේ සත්ත්වයා උපතෙහි පටන් මඳකට හෝ නොනැවතී මරණය කරාම යෙයි. එහෙයින් කියන ලදි.