කොට්ඨාසවවත්ථාපනකථා
මෙසේ නිමිති ගෙන සියලු කොටස්වල වණ්ණ, ඝණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද වශයෙන් නිශ්චය කොට, වණ්ණ, සණ්ඨාන, ගන්‍ධ, ආසය, ඔකාස යන පස් ආකාරයෙන්ද පිළිකුල් බව නිශ්චය කටයුතුය.
එහිලා සියලු කොටස් පිළිබඳ අනුපිළිවෙළ කථාව මෙසේය:- පළමුකොට කෙස් ගතහොත්, එය පියවි පැහැයෙන් අමු පෙනෙල ඇට මෙන් කළුය, සටහන් වශයෙන් දික්වට තුලා දඬු වැනි සටහන් ඇත්තේය, දිශා වශයෙන් උඩු දිශාවෙහි උපන්නේය, ආකාශ වශයෙන් දෙපස කන්සිළුවට ඉදිරි පසින් නළල කෙළවරින්ද, පසුපස ගෙල වටින්ද පිරිසිඳි හිස්කබල වසා සිටින තෙක් සම කෙස්වල අවකාශයයි. පරිච්ඡේද වශයෙන් යටින් හිසවසාගෙන සිටි සම තුළට වියගහක් පමණ පිවිස සිටි කෙස් මුල් වලින්ද, උඩින් අහසින්ද සරසින් එකිනෙකින්ද පිරිසිඳීයේයි. කෙස් ගස් දෙකක් එකට පිහිටා නැතැ’යි යන මේ කාරණය සභාග වශයෙන් පිරිසිඳීමයි. කෙස්, ලොම් නොව, කෙස්ම වේ, ලොම් කෙස් නොව ලොම්ම වේයයි මෙසේ සෙසු එක්තිස් කොටස් වලින් වෙන්කොට, කෙස් නම් වෙනම කොට්ඨාසයෙකැ’යි යන මෙය විසභාග වශයෙන් පිරිසිඳීමයි. මේ කෙස් ආදිය වර්ණාදී වශයෙන් නිශ්චය කිරීමයි.
ඒ කෙස් ආදිය වර්ණ ආදී වශයෙන් පස් ආකාරයෙකින් පිළිකුල් බව නිශ්චය කිරීම මෙසේය:- මේ කෙස්ය, කෙස් වනාහි, පැහැයෙන්ද පිළිකුල්ය, හැඩයෙන්ද, ගඳින්ද, ආශ්‍රය වශයෙන්ද, අවකාශ වශයෙන්ද පිළිකුල්ය,
ප්‍රියවූද බත් බඳුනෙක හෝ කැඳ බඳුනෙක කෙසක් වැනි කිසිවක් දැක, ‘මෙය කෙස් මුසුය, මෙය ඉවතලවු’ යයි පිළිකුල් කරති. මෙසේ වර්ණයෙන්ද පිළිකුල් වේ, රාත්‍රියෙහි අනුභව කරන්නකුහට කෙස් හැඩය ඇති වරා කෙන්දක් හෝ නියද කෙන්දක් විකුණවිට එසේම පිළිකුල් කරති. මෙසේ සටහන් වශයෙන් පිළිකුල් වේ.
තෙල් ගැල්වීම්, මල් ගැවසීම්, දුම් ඇල්ලීම් ආදී සැරසීම් නැතිවිට කෙස්වල ගඳ ඉතා පිළිකුල් වේ, ගින්නෙහි ලූවිට (කෙස්වල ගඳ) එයටත් වඩා පිළිකුල් වේ. කෙසේ වනාහි වර්ණ සණ්ඨාන වශයෙන් පිළිකුල් නොවත්මුත් ගඳින් පිළිකුල් වන්නේමය. යම්සේ ළදරුවකුගේ වසුරු පැහැයෙන් කසාවන් වන්නේද, හැඩයෙන්ද, කසාපිඬක් හා සමාන වන්නේද, තවද කසල ගොඩෙක දැමූ කළු බල්ලකුගේ ඉදිමී ගිය සිරුර පැහැයෙන් පැසුණු තල් ගෙඩියක් හා සමාන වන්නේද, සටහන් වශයෙන් වටකොට ලියා නිම කළ මිහිඟු බෙරයක් හා සමාන වන්නේද (උගේ) දළද සමන් කැකුළු හා සමාන වන්නේද, (ළදරුවාගේ වසුරුය, ඉදිමුණ බලු කුණය යන) මේ දෙකම වර්ණ වශයෙන් හෝ සටහන් වශයෙන් පිළිකුල් නොවන්නේය, ගඳින් වනාහි පිළිකුල් වන්නේමය, එසේම කෙස්ද වර්ණ වශයෙන් හෝ සටහන් වශයෙන්ද පිළිකුල් නොවත්මුත් ගඳින් වනාහි පිළිකුල් වන්නේමය.
යම්සේ වනාහි ගම්දොර ගලා යන මලමූත්‍රාදිය සහිත අපවිත්‍ර ස්ථානයෙක්හි හටගත් පිස බිඳිය හැකි පලා කොළ පවා නාගරික ජනයාට පිළිකුල් වන්නේද, නොබිඳියයුතු වන්නේද, එසේම කෙස්ද ලෙහෙ, සැරව, මලමූත්‍ර, පිත්, සෙම් ආදිය වැගිරීමෙන් උපන් හෙයින් පිළිකුල් වන්නේමය. මේ කෙස් පිළිබඳ ආශ්‍රයස්ථාන වශයෙන් ඇති පිළිකුල් බවයි.
මේ කෙස් වනාහි වසුරු ගොඩෙක නැගුණ පුස් මෙන් එක් තිසක් සෙසු කුණප කොට්ඨාසයන් මත උපන්නේය, ඒ කෙස් සොහොන්පල, කසලගොඩ ආදී තන්හි හටගත් පලාකොළ සෙයින්ද දිය අගල් ආදියෙහි හටගත් පියුම් මහනෙල් ආදී පුෂ්පයන් සෙයින්ද, අපවිත්‍ර ස්ථානයන්හි උපන් හෙයින් ඉතා පිළිකුල් වන්නේය. මේ අවකාශ වශයෙන් කෙස් පිළිබඳ පිළිකුල් බවයි.