කායගතාසති භාවනාව
ඉක්බිති බුද්ධෝත්පාද කාලයකදී හැර නොපැවතිවිරූ, සියලු තීර්ත්ථකයනට අවිෂය වූ, ඒ ඒ සූත්රාන්තයන්හි, “මහණෙනි, එක් ධර්මයක් වඩනා ලද්දේ, බොහෝසෙයින් පුරුදු කරන ලද්දේ මහත්වූ සංවේගය පිණිස පවතී, මහත් වූ යහපත පිණිස පවතී, මහත්වූ ක්ෂේමය පිණිස පවතී, මහත් වූ සිහි නුවණ පිණිස පවතී, විදර්ශනා ඥානදර්ශන ප්රතිලාභය පිණිස පවතී, ඉහාත්මභාවයෙහි සුඛවිහරණ පිණිස පවතී, ත්රිවිද්යා විමුක්ති ඵලයන් සාක්ෂාත් කිරීම පිණිස පවතී, කවර නම් ධර්මයක්ද? කායගතාසතිභාවනාවයි” ‘මහණෙනි, යම් කෙනෙක් තුමූ කායගතාසති ධ්යානය (සමවැදීම් වශයෙන්) වළඳත්ද ඔහු අමෘතය වළඳත්, යම් කෙනෙක් තුමූ කායගතාසති ධ්යානය නොවළඳත්ද, ඔහු අමෘතය නොවළඳත්, මහණෙනි, යම් කෙනකු විසින් කායගතාසති ධ්යානය වළඳනා ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසති ධ්යානය නොවළඳනා ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නොවළඳනා ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය පිරිහෙලන ලද්දේ නම්, ඔවුන් විසින් අමෘතය පිරිහෙලන ලද්දේය. යම් කෙනකු විසින් නොපිරිහෙලන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නොපිරිහෙලන ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය නිපදවන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නිපදවන ලද්දේය, යම් කෙනකු විසින් කායගතාසතිය නිපදවන ලද්දේ ද, ඔවුන් විසින් අමෘතය නිපදවන ලද්දේය’යි මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ප්රශංසා කොට, තවද “මහණෙනි, කායගතාසති භාවනාව කෙසේ වඩනා ලද්දේ, කෙසේ බහුල ලෙස ප්රගුණ කරන ලද්දේ මහත්ඵලවේද? මහත් අනුසස් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ අරණ්යයට ගියේ හෝ වේදැ’යි යන ආදී නයින් ආනාපාන කාණ්ඩය, ඉරියාපථ කාණ්ඩය, චතුසම්පජඤ්ඤ කාණ්ඩය, පටික්කූලමනසිකාර කාණ්ඩය, ධාතුමනසිකාර කාණ්ඩය, නවසීවථික කාණ්ඩයන්දැ’යි යන මේ තුදුස් කාණ්ඩයන් වශයෙන් යම් ඒ කායගතාසති කර්මස්ථානයක් දක්වන ලද්දේ ද, ඒ කායගතාසති කර්මස්ථානය පිළිබඳ නිර්දේශය අනුපිළිවෙළින් එළඹියේය.
එහි, යම් හෙයකින් ඉරියාපථපබ්බය, චතුසම්පජඤ්ඤපබ්බය ධාතුමනසිකාරපබ්බය, යන මේ තුන විදර්ශනා වශයෙන් කියනලදි. සීවථිකපබ්බ නවය විදර්ශනා ඥානයෙහිදීම ආදීනව දැකීම් වශයෙන් කියනලදි. මෙහි උද්ධුමාතක අසුභ ආදියෙහිදී යම් සමාධි භාවනාවක් සිද්ධ වේනම්, එය අසුභ නිද්දේසයෙහි ප්රකාශ කරන ලද්දේමය. ආනාපානපබ්බය හා පටික්කූලමනසිකාරපබ්බයද යන මේ දෙක මෙහිම සමාධි වශයෙන් කියන ලදි. ඒ දෙකින් ආනාපානපබ්බය ආනාපාන සති වශයෙන් වෙනම කර්මස්ථානයක්ද වේ. යම් මේ කර්මස්ථානයක් වනාහි, “මහණෙනි, යලිදු භික්ෂු තෙමේ පාදතලයෙන් ඉහළ කෙස් මුදුනෙන් පහළ සමින් සීමාවූ නොයෙක් ආකාර ඇති අශුචියෙන් පිරුණු මේ ශරීරයම පිළිබඳව, අත්ථි ඉමස්මිං කායෙ කෙස් ලොමා -පෙ-මුත්තං” යනුවෙන් මෙසේ හිස්මොල ඇටමිදුලු හා සමඟ එක්කොට ගෙන පිළිකුල මෙනෙහි කිරීම් වශයෙන් දේශනා කරනලද ද්වත්තිංසාකාර කර්මස්ථානය මෙහි කායගතාසති යනුවෙන් අභිප්රේතයි.
මේ එම කර්මස්ථානය පිළිබඳ පාළි වර්ණනාව පෙරටුකොට ඇති භාවනා නිර්දේශයයි: ඉමමෙව කායං (මේ සිරුරම) යනු, සතර මහාභූතයන්ගෙන් නිමවූ කුණු කයයි, උද්ධං පාදතලා යනු, පාද තලයෙන් ඉහළ, අධො කෙසමත්ථකා යනු, කෙස් අගින් පහළ, තචපරියන්තං යනු, සමින් සීමාවූ, පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති යනු නානාප්රකාර අශුචි කොටස්වලින් හරිතවූ මේ ශරීරය දකියි. කෙසේද? “අත්ථි ඉමස්මිං කායෙ -පෙ-මුත්තං” යන ආදී වශයෙනි.
එහි අත්ථි යනු විද්යමාන වේ. ඉමස්මිං යනු, පාදතලයෙන් ඉහළ කෙශාන්තයෙන් පහළ සම සීමාකොට ඇති අශූචියෙන් පිරි යම් මේ කයක් වේද, ඒ කයෙහිය, සිරුරෙහිය. සිරුර වනාහි අශුචි රාශියක් වන හෙයින්ද, පිළිකුල් දනවන කෙස් ආදියටද, චක්ෂූරෝගාදී සියගණන් රෝගවලටද නිධාන වූ හෙයින් කාය යයි කියනු ලැබේ. කෙසා, ලොමා යනු, මේ කෙස් ආදී දෙතිස් කොටස්ය. එහි අත්ථි ඉමස්මිං කායෙ කෙසා, මේ කය තුළ කෙස් ඇත, ලොම් ඇතැයි මෙසේ සම්බන්ධය දතයුතුයි.
පාද තලයෙහි පටන් උඩින්ද, කෙසග පටන් යටින්ද, සමෙහි පටන් ඇතුළතද, බඹයක් පමණ වූ මේ සිරුරෙහි සියලු අයුරින් සොයත්මුත් කිසිවෙක් මුතු හෝ මැණික් හෝ වෙරළුමිණ ආදී කිසිවක් හෝ, අගිල්, කොකුම්, කපුරු වත්සුණු ආදීවූ ස්වල්පමාත්ර පවිත්රතාවක් හෝ නොදකී. වැලිදු අතිශය දුර්ගන්ධ වූ පිළිකුල් දනවනසුලු නිශ්රීක දර්ශන ඇති, කෙස් ලොම් ආදී ප්රභේද ඇති නානාප්රකාර කුණප කොටසක්ම දකියි. එහෙයින් “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා -පෙ-මුත්තං” යනුවෙන් මේ පද සම්බන්ධ වශයෙන් මෙහි වර්ණනායි.
මේ කර්මස්ථානය විඩා, රහත්බවට පැමිණෙනු කැමැති ආධුනික කුලපුත්රයා විසින් යට කියනලද ප්රකාර ඇති කල්යාණමිත්රයකු වෙත එළඹ මේ කමටහන් ලබාගත යුතුය. ඒ කල්යාණ මිත්රයා විසින්ද ඔහුට කමටහන් කියනවිට උග්ගහකොසල්ලය (ඉගෙනීමේ පහසු ක්රමය) සත් ආකාරයෙකින්ද, මනසිකාරකොසල්ලය (මෙනෙහි කිරීමේ පහසු ක්රමය) දශ ආකාරයෙකින්ද කිවයුතුය. එහි වචන වශයෙන්ද (වචසා), මනස් වශයෙන්ද (මනසා), වර්ණ වශයෙන්ද (වණ්ණතො) සංස්ථාන වශයෙන්ද (සණ්ඨානතො) දිශාවශයෙන්ද (දිසතො), අවකාශ වශයෙන්ද (ඔකාසතො), පරිච්ඡේද වශයෙන්දැයි (පරිච්ඡෙදතො) මෙසේ උග්ගහකොසල්ලය කිවයුතුය.
මේ පිළිකුල් මෙනෙහි කිරීමේ කමටහන් විෂයෙහි යමෙක් ත්රිපිටකධර වේද, ඔහු විසින් වුවද මෙනෙහි කිරීමේ කාලයේදී පළමුකොට වචනයෙන් සජ්ඣායන කටයුතුය. ඇතැමකුට සජ්ඣායනා කරද්දීම කමටහන් වැටහේ. මලයරට වැසි මහාදේව තෙරුන් සමීපයෙහි කමටහන් උගත් තෙරුන් දෙදෙනා වහන්සේට මෙනි. ඒ මහාදේව තෙරණුවෝ වනාහි එම තෙරුන් දෙදෙනා විසින් කමටහන් අයදිනලද කල්හි සාරමසක් මෙය සජ්ඣායන කරහුයයි ද්වත්තිංසාකාරයෙහි පෙළ දුන්හ. එතෙකුදු වුවත් ඒ දෙදෙනා වහන්සේ විසින් දෙතුන් නිකායක් ප්රගුණ කරන ලද්දේය. ගෞරවාදර පෙරටුකොට ගන්නාලද හෙයින් වනාහි සාරමසක් ද්වත්තිංසාකාරය සජ්ඣායනා කරමින් සිටියදීම සෝවාන් වූහ. එහෙයින් කමටහන් කියන ආචාර්යවරයා විසින් අන්තෙවාසිකයාහට ‘පළමුකොට වචනයෙන් සජ්ඣායන කරන්නැ’යි කිවයුතුය.