පකිණ්ණකකථා
මෙම ජඅනුස්සති භාවනාව පිළිබඳ විස්තර ඇතුළත් (මහානාම සූත්‍ර) දේශනාවෙහි, “ඒ යෝගාවචරයාගේ සිත එසමයෙහි තථාගතයන් අරබයා සෘජු බවට ගියේම වෙයි,” යන ආදිය කියා, “මහානාමය, සෘජුහාවයට ගිය සිත් ඇති ආර්යශ්‍රාවක තෙමේ අර්ත්‍ථය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය හා සමග යෙදුණු ප්‍රමෝදයද ලබයි, ප්‍රමුදිත වූ ඔහුට ප්‍රීතිය උපදී’ යනුවෙන් කියනලදී. එහි ‘ඉතිපි සො භගවා’ යන ආදියෙහි අර්ත්‍ථය නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති අත්‍ථවෙදං යයිද, එහි පෙළ නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති ධම්මවෙදං යයිද, එම අර්ත්‍ථ, ධර්ම යන දෙකෙහිම ස්වභාව වශයෙන් ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං යයිද කියනලදැයි දතයුතුය.
දේවතානුස්සතියෙහි දෙවතා ආරබ්හ යනුවෙන් යමක් කියන ලද්දේ ද, එය පළමුකොට දෙවියන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ දේවතා ගුණයන් හා සමානවූ තමාගේ ගුණයන් අරබයා, නොහොත්, දේවතාභාවය දනවනසුලු තමාගේ ගුණයන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ කියන ලදැයි දතයුතුය.
මෙම අනුස්සති භාවනා සය ආර්ය ශ්‍රාවකයන්හටම සමෘද්ධ වේ. ඔවුන්හට හට වනාහි බුදුගුණ, දහම්ගුණ, සඟගුණ ප්‍රකට වේ, එම ආර්ය ශ්‍රාවකයෝද අඛණ්ඩතාදී ගුණ ඇති ශීලයෙන්ද, මසුරුමල පහවූ ත්‍යාගයෙන්ද, මහානුභාවසම්පන්න දෙවියන්ගේ ගුණයන් හා සමානවූ ශ්‍රද්ධාදී ගුණයෙන් සමන්විත වූවාහුය. මහානම සූත්‍රයෙහිද, සෝවාන් වූවහුට නිස්සයවිහාර (කමටහන් විහරණ) යන් විචාළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවාන් වූවහුට කමටහන් විහරණ දක්වනු පිණිසම මේ අනුස්සති භාවනා සය විස්තර වශයෙන් දේශනා කරන ලද්දේය.’
ගේධ සූත්‍රයෙහිද, “මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ, ‘ඉතිපි සො භගවා’ යන ආදී වශයෙන් තථාගතයන් සිහි කරයි-පෙ-ඔහුගේ සිත එසමයෙහි සෘජුභාවයට ගියේම වේ. ගෙධ (පංචකාම ගුණ) යෙන් වෙන්වූයේ, මිදීගියේ, නැගී සිටියේ වේ. මහණෙනි, ගෙධ යන මෙය පංචකාමගුණයට අධිවචනයෙකි. මහණෙනි, මේ බුද්ධානුස්සතිය අරමුණු කොටගෙන මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධියට පැමිණෙති”යි මෙසේ ආර්යශ්‍රාවකයා විසින් අනුස්සති භාවනා වශයෙන් සිත පිරිසිදුකොට උත්තර වූ පරමාර්ත්‍ථ විශුද්ධිය අවබෝධ කිරීම දක්වනු පිණිස කියන ලද්දේය.
ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් විසින් දේශනා කරනලද සම්බාධොකාස සූත්‍රයෙහිද, “ඇවැත්නි, දන්නා, දක්නා, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්බාධ (හෙවත් තෘෂ්ණා ක්ලේශාදී ගැහැට) සහිත ගිහිගෙහි සිටියදීම සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස -පෙ නිර්වාණාවබෝධය පිණිස, යම් මේ අනුස්සති භාවනා සයක් ඔකාසාධිගම වශයෙන් දන්නා ලද්දේ ද, එය ආශ්චර්යෙයකි, අද්භූතයෙකි, කිනම් භාවනා සයෙක්ද? ඇවැත්නි මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරයි -පෙ-මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධිස්වභාව ඇත්තෝ වන්නාහුය.” මෙසේ ආර්යශ්‍රාවකයාගේම පරමාර්ත්‍ථ විශුද්ධි ස්වභාවය පිණිස ඔකාස අධිගම වශයෙන් කියන ලද්දාහුය.
උපොසථ සූත්‍රයෙහිද, ‘විශාඛාවෙනි, ආර්ය වූ උපොසථය කෙසේ සිදුවන්නේද? විශාඛාවෙනි, කිලුටුබවට ගිය සිත උපක්‍රම මඟින් පිරිසුදු වන්නේය, විශාඛාවෙනි. කෙසේ නම් කිලුටුබවට ගිය සිත උපක්‍රම මඟින් පිරිසුදු වන්නේද? විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරන්නේය’යි මෙසේ පෙහෙවස් වසන ආර්යශ්‍රාවකයාගේම සිත පිරිසුදු කරන කමටහනක් වශයෙන් පෙහෙවස් විසීමෙහි මහත්ඵලභාවය දක්වනු පිණිස කියනලදී.
එකාදස නිපාතයෙහිද, “මහානාමය, ශ්‍රද්ධා ඇත්තේ (තථාගතයන්) සිත් ගන්නේය, ශ්‍රද්ධා නැත්තේ නොඑසේ වන්නේය, අරඹන ලද වීර්ය ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ-සන්සුන් සිත් ඇත්තේ ප්‍රඥා ඇත්තේ (තථාගතයන්) සිත් ගන්නේය, ප්‍රඥා නැත්තේ නොඑසේ වන්නේය, මහානාමය, මේ ශ්‍රද්ධාදී පංචධර්මයෙහි පිහිටා එයින් මතු (බුද්ධානුස්සති ආදී) ෂඩ්ධර්මයන් වඩන්නෙහිය, මහානාමය මෙහිදී ඉතිපි සො භගවා යන ආදී වශයෙන් තථාගතයන් සිහි කරන්නෙහිය”යි මෙසේ, “ස්වාමීනී, නොයෙක් විහරණයෙන් දවසරින අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වන්නේදැ?යි විචාරන ආර්යශ්‍රාවකයකුටම සුදුසු විහරණ දක්වනු පිණිස කියන ලද්දේය.
එසේ වුවද, පිරිසුදු ශීලාදී ගුණයෙන් සමන්විත වූ පෘථග්ජන පුද්ගලයකු විසින්ද මෙසේ මෙනෙහි කළ යුතුය. අනුස්සව වශයෙන් වුවද බුද්ධාදීන්ගේ ගුණ මෙනෙහි කරන්නහුගේ සිත පහන් වන්නේමය. එසේ මෙනෙහි කිරීමේ අනුහසින් නීවරණයන් යටපත්කොට උදාරවූ ප්‍රමෝද ඇතිව විදර්ශනා අරඹා රහත්බව සාක්‍ෂාත් කරන්නේ, කටකන්‍දරවාසී ඵුස්සදෙව තෙරුන් මෙනි.
ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි, මාරයා විසින් මවාගත් බුදුවෙස් දැක, රාග, ද්වේෂ, මොහ සහිත මාරයා ගත් බුදුවෙස් මෙතරම් හොබනේ නම්, සියලු අතින්ම රාගද්වේෂ මොහාදියෙන් දුරු වූ භාග්‍යවතුන් වහන්සේ කෙතරම් හොබනාහුදැයි බුදුන් අරමුණු කොටගත් ප්‍රීතිය ලැබ විදර්ශනා වඩා රහත් බවට පැමිණියාහුය.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි ජ-අනුස්සතිනිද්දේස නම් සත්වන පරිච්ඡේදය මෙලෙසින් නිමියේය.
8. අනුස්සති කම්මට්ඨාන නිද්දේසය
මරණානුස්සති භාවනාව
ඉක්බිති මේ දෙවතානුස්සතියට අනතුරුව මරණානුස්සතිය පිළිබඳ භාවනා නිර්දේශය එළඹියේය. එහි මරණ යනු එක් භවයකින් පිරිසුන් ජීවිතෙන්‍ද්‍රියයාගේ බිඳී යාමයි. රහතුන්ගේ සසරදුක් සහමුලින් සිඳලන සමුච්ඡේදමරණයයි කියනලද යම් මේ මරණයක් වේනම් එම සමුච්ඡේදමරණයද, මොහොතක් පාසා බිඳෙන, එහෙයින් ක්‍ෂණභංගයයි කියනලද, සංස්කාරයන්ගේ ක්‍ෂණික මරණයද, ‘ගස මළේය’, ‘ලෝහය මළේය’ යන ආදී තන්හි සම්මුතිමරණයද මෙහිලා අභිප්‍රේත නොවේ.
යම් මරණයක් මෙහිලා අභිප්‍රේත වේද, එය කාලමරණය, අකාලමරණයයි දෙවැදෑරුම් වේ. එහි කාලමරණය පුඤ්ඤක්ඛය (කම්මක්ඛය) හෝ ආයුක්ඛය හෝ උභයක්ඛය වශයෙන් වේ. අකාලමරණය උපච්ඡේදකකම්ම වශයෙන් වේ.