7. ඡ-අනුස්සතිනිද්දේසය
බුද්ධානුස්සති භාවනාව
දස අසුභයනට අනතුරුව දක්වන ලද දස අනුස්සතීන් අතර නැවත නැවත උපදනා හෙයින් එහි සති තොමෝම අනුස්සති නම්වේ, පැවැත්විය යුතු තන්හිම පැවැත්වෙන හෙයින් හෝ සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්‍රයාහට යෝග්‍ය වූ හෙයින් හෝ අනුස්සති නම්වේ-බුදුන් උදෙසා උපන් අනුස්සතිය බුද්ධානුස්සති නම් වේ, බුදුගුණ අරමුණුකොට උපන් සිහියට මේ අධිවචනයෙකි. ධර්මය අරබයා උපන් අනුස්සතිය ධම්මානුස්සති නම් වේ, ස්වාක්ඛාතතාදී දහම්ගුණ අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. සංඝයා අරබයා උපන් අනුස්සතිය සංඝානුස්සති නම් වේ, සුපටිපන්නතාදී සඟුන් ගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. සීලය අරබයා උපන් අනුස්සතිය සීලානුස්සති නම් වේ, අඛණ්ඩතාදී සිල්ගුණ අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. චාගය අරබයා උපන් අනුස්සතිය චාගානුස්සති නම් වේ, මුදාහළ ආශා ඇතිබව ආදී ත්‍යාගගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. දේවතාවන් අරබයා උපන් අනුස්සතිය දෙවතානුස්සති නම්වේ, දෙවියන් සාක්‍ෂ්‍යස්ථානයෙහි තබා තමාගේ ශ්‍රද්ධාදී ගුණ අරමුණුකොට ඇති සිහියට මේ අධිවචනයෙකි. මරණය අරබයා උපන් සිහිය මරණසති නම් වේ, ජීවිතෙන්‍ද්‍රිය ක්‍ෂයවීම අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. කෙශාදී ප්‍රභේද ඇති රූපකාය වෙත යොමුවූවා නොහොත් කය වෙත නැඹුරුවූවා කායගතා නමි, ‘කායගතා’ ද වූවා ‘සති’ ද වූවා ‘කායගතාසති’ (සමාස කොට) කිවයුතු තැන භ්‍රස්ව නොකොට කායගතාසතියයි කියන ලදී, කෙශාදීවූ කයෙහි කොටස් නිමිතිකොට, අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. ආශ්වාස ප්‍රශ්වාසයන් අරබයා උපන් සතිය ආනාපානසති නම් වේ, ආශ්වාස ප්‍රශ්වාසයන් නිමිතිකොට අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි. උපසමය අරබයා උපන් අනුස්සතිය උපසමානුස්සති නම් වේ. සියලු දුක් ශමනය කිරීම අරමුණු කොට ඇති සිහියට මේ අධිවචනයෙකි.
මෙසේ මේ දස අනුස්සතීන් අතුරින් පළමුකොට බුද්ධානුස්සති භාවනාව වඩනු කැමැති, බුදුගුණ තත්වාකාරයෙන් දැනීම හේතුකොට උපන් ප්‍රසාද ඇති යෝගාවචරයා විසින් යෝග්‍ය වූ සෙනස්නෙක්හි, හුදෙකලාව විවේක සුවයෙන් යුක්තව, “මේ කරුණෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් නම් වන සේක, සම්මාසම්බුද්ධ නම් වනසේක, අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වන සේක, සුගත නම් වන සේක. ලොකවිදූ නම් වන සේක, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. දෙවිමිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෲ නම් වන සේක, භගවත් නම්ද වනසේකැ’යි මෙසේ භාග්‍යවත් බුදුන් වහන්සේගේ ගුණ සිහිකළ යුතුය.
ඒ අනුස්මරණ ක්‍රමය මෙසේයි:- “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අර්හත් වනසේක, මෙසේද සම්මාසම්බුද්ධ වන සේක, -පෙ-මෙසේද හගවත් වනසේකැ’යි සිහිකරන්නේය. මේ මේ කරුණින්යයි කී නියායි.
එහි කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්, කෙලෙස් සතුරන්ද, සංසාරචක්‍රයෙහි අරයන්ද නැසූ හෙයින්, ප්‍රත්‍යයාදිය ලැබීමට සුදුසුවන හෙයින්, රහසින්වත් පව් නොකරන හෙයින්, යන මේ ආදී කරුණෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේකැ’යි සිහිකරන්නේය. ඒ භාග්‍යවතුන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ සේක, දුරින්ම දුරුව සිටිසේක, ආර්යමාර්ගයෙන් වාසනාගුණ සහිත ක්ලේශයන් නැසූ හෙයින්, කෙලෙසුන්ගෙන් දුරුවූ හෙයින් අර්හත් වන සේක.
සො තතො ආරකා නාම යස්ස යෙනාසමඞ්ගිතා
අසමඞ්ගී ච දොසෙහි නාථො තෙනාරහං මතො.
අසමඞ්ගී ච දොසෙහි නාථො තෙනාරහං මතො.
යම් කෙනෙකුන්ගේ කිසිම වස්තුවක් හා සමග නොබැඳුණු බවෙක් වේද, ඒ නාථයන් වහන්සේ එම හේතුවෙන් “ආරකා” (දුරින් සිටියේ) නම් වන සේක, දෝෂයන්ගෙන්ද, විනිර්මුක්ත වූ (ලෝක)-නාථයන් වහන්සේ එහෙයින් ‘අරහත්’ යයි දන්නාලද සේක.
කෙලෙස් නමැති සතුරෝද මොවුන් විසින් මාර්ගඥානයෙන් නසන ලද්දාහු’යි, සතුරන් නැසූ හෙයින් අරහත් නම් වන සේක.
යස්මා රාගාදිසංඛාතා සබ්බෙපි අරයො හතා
පඤ්ඤාසත්‍ථෙන නාථෙන තස්මාපි අරහං මතො.
පඤ්ඤාසත්‍ථෙන නාථෙන තස්මාපි අරහං මතො.
යම්හෙයකින් රාගාදිසංඛ්‍යාත වූ සියලුම කෙලෙස් සතුරෝ ඒ නාථයන් වහන්සේ විසින් ප්‍රඥා නමැති ශස්ත්‍රයෙන් නසන ලද්දාහුද, එහෙයින්ද අර්හත්’ යයි දන්නා ලද සේක.
අවිද්‍යා, භවතෘෂ්ණා යන මෙයින් නිර්මිත වූ නාභියක් ඇති, පුණ්‍යාදී අභිසංස්කාර නමැති අර සහිත, ජරාමරණ නමැති නිම්වලලු ඇති, ආසවසමුදයෙන් සැදි අක්‍ෂයෙන් විද ත්‍රිභව නමැති රථයෙහි යොදනලද, අනාදිමත් කාලයක් පවත්නා යම් මේ සංසාර නමැති චක්‍රයක් වේද, ඒ චක්‍රයෙහි සියලු අරයෝ මොවුන් විසින් බෝධිමූලයෙහිදී, ශීල නමැති පොළොවෙහි වීර්ය නමැති පයින් සිට, ශ්‍රද්ධා නමැති අතින් කර්ම ක්‍ෂයකර ඥාන නමැති පොරොව ගෙන සිඳින ලදහ’යි අරයන් සිඳලූ හෙයින්ද අර්හත් වනසේක.
නොහොත්, අගක් මුලක් නැති සංසාරවට්ටය සංසාර චක්‍රයයි කියනු ලැබේ, එහි වනාහි අවිද්‍යාව නාභිය වේ. එය මුල්වන හෙයින්, ජරාමරණ යන දෙක නිම්වලලු වේ, එය කෙළවරවන හෙයිනි, (පටිච්චසමුප්පාදයෙහි දැක්වෙන සංඛාරාදී) සෙසු දශධර්ම අරයෝ වෙති, අවිද්‍යාව මුල්වන හෙයින් හා ජරාමරණයන් කෙළවරවන හෙයිනි, එහි දුඃඛාදී සත්‍යයන් විෂයෙහි නොදන්නා බව අවිද්‍යාවයි. කාමභව විෂයෙහි අවිද්‍යාව කාමභවය පිළිබඳ සංඛාරයනට හේතුවේ. රූප-පෙ අරූපභව විෂයෙහි අවිද්‍යාව අරූපභවය පිළිබඳ සංඛාරයනට හේතුවේ. කාමභව විෂයෙහිවූ සංඛාරයෝ කාමභවය පිළිබඳ පටිසන්‍ධි විඤ්ඤාණයට හේතු වේ. සෙසු තන්හි ද මෙම නයයි. කාමභව විෂයෙහි වූ පටිසන්‍ධි විඤ්ඤාණය කාමභවය පිළිබඳ නාමරූපයනට හේතුවේ. එසේම රූපභව විෂයෙහිද මෙම නයයි, අරූපභව විෂයෙහිවූ පටිසන්‍ධි විඤ්ඤාණය අරූපභවය පිළිබඳ නාමයටම හේතුවේ. කාමභව විෂයෙහි වූ නාමරූපය කාමභවය පිළිබඳ සළායතනයට හේතුවේ, රූපභව විෂයෙහිවූ නාමරූපය රූපභවය පිළිබඳ ආයතන තුනට හේතුවේ. අරූපභව විෂයෙහි වූ නාමය අරූපභවය පිළිබඳ එක්ම ආයතනයට හේතුවේ. කාමභව විෂයෙහි වූ සළායතනය කාමභවය පිළිබඳ ස-වැදෑරුම් ඵස්සයට හේතුවේ. රූපභව විෂයෙහි වූ ආයතන තුන රූපභවය පිළිබඳ තෙ-වැදෑරුම් ඵස්සයට හේතුවේ, අරූපභව විෂයෙහිවූ එක්ම මනායතනය අරූපභවය පිළිබඳ එක්ම ඵස්සයට හේතුවේ. කාමභව විෂයෙහිවූ ස-වැදෑරුම් ඵස්සය කාමභවය පිළිබඳ ස-වැදෑරුම් වේදනාවට හේතුවේ, රූපභව විෂයෙහි වූ තෙ-වැදෑරුම් ඵස්සය රූපභවය පිළිබඳ තෙ-වැදෑරුම් වේදනාවට හේතුවේ, අරූපභව විෂයෙහි වූ එක්ම ඵස්සය එය පිළිබඳව වූ එක්ම වේදනාවට හේතුවේ. කාමභව විෂයෙහි වූ ස-වැදෑරුම් වේදනාව කාමභවය පිළිබඳ ස-වැදෑරුම් තණ්හා කායයනට හේතුවේ, රූපභව විෂයෙහි වූ තුන් වැදෑරුම් වේදනාව එයම පිළිබඳ තුන්-වැදෑරුම් තණ්හාකායයනට හේතුවේ, අරූපභව විෂයෙහි වූ එම වේදනාව එයම පිළිබඳ වූ එක්ම තණ්හාකායයට හේතුවේ. ඒ ඒ භව විෂයෙහි වූ තණ්හාව ඒ ඒ භවය පිළිබඳ උපාදානයටද, උපාදානාදිය භව ආදියටද හේතුවේ.