දේවතානුස්සති භාවනාව
දේවතානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් ආර්යමාර්ග වශයෙන් පුරුදු කරන ලද ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් සමන්විතයකු විය යුතුය. ඉක්බිති හුදකලාව විවේකීව මෙසේ සිහිකළ යුතුය. ‘චාතුර්මහාරාජික දෙවියෝ වෙති, තාවතිංස දෙවියෝද යාම දෙවියෝද තුසිත දෙවියෝද, නිර්මාණරති දෙවියෝද, පරනිර්මිතවසවර්ති දෙවියෝද වෙති, බ්‍රහ්මකායික දෙවියෝද වෙති. ඔවුනට වඩා උසස් (පරිත්තාභ ආදී), දෙවියෝද වෙති, යම් බඳු වූ ශ්‍රද්ධාවෙකින් සමන්විත වූ ඔවුහු මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නමි, මටද එබඳුවූම ශ්‍රද්ධාවක් ඇත, යම්බඳුවූ ශීලයකින් යම්බඳුවූ ශ්‍රැතයෙකින් යම්බඳුවූ ත්‍යාගගුණයෙකින්, යම්බඳු වූ ප්‍රඥාවෙකින් සමන්විත වූ ඒ දෙවියෝ මේ මිනිස් ලොවින් චුතව එහි උපන්නාහු නම්, මටද එබඳුවූම-පෙ-ප්‍රඥාවක් ඇත.” මෙසේ දෙවියන් සාක්‍ෂිකොට තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහිපත් කළ යුතුය.
(මහානාම) සූත්‍රයෙහි වනාහි, ‘මහානාමය, යම් කලෙක්හි ආර්යශ්‍රාවක තෙමේ තමාගේ හා එම දෙවියන්ගේ ශ්‍රද්ධාවද, ශීලයද, ශ්‍රැතගුණයද පරිත්‍යාගයද, ප්‍රඥාවද සිහිපත් කරන්නේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් මඩනා ලද්දේ නොවේ,” යයි? කියනලදි. කුමක් කියනලද්දේ වීනමුදු, ශාක්‍ෂිස්ථානයෙහි තැබියයුතු දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් තමා සතු එම ගුණයන් දීපනය කිරීම පිණිස කියන ලදැයි දතයුතුය. අටුවාවෙහි වනාහි, “දෙවියන් ශාක්‍ෂිස්ථානයෙහි තබා තමාගේ ගුණ මෙනෙහි කරයි” යනුවෙන් ස්ථිරවම කියන ලද්දේය.
එහෙයින් පළමුකොට දෙවියන්ගේ ගුණ සිහිකොට පසුව තමා කෙරෙහි විද්‍යාමාන වූ ශ්‍රද්ධාදී ගුණයන් මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, එසමයෙහි ඔහුගේ සිත දෙවියන් අරබයා සෘජුබවට පැමිණියේම වේ. පෙරකී නයින්ම නීවරණයන් යටපත්ව ගිය කල්හි එක් වරම ධ්‍යානාංගයෝ උපදනාහුය. ශ්‍රද්ධාදී ගුණයන්ගේ ගැඹුරුබවින් නැතහොත් නොයෙක් ආකාර ගුණයන් සිහි කිරීමෙහි යෙදුණු බැවින් අර්පණාවට නොපැමිණි උපවාරයටම පැමිණි ධ්‍යානය වේ. දේවතාවන්ගේ ගුණයන් හා සමානවූ තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහි කිරීම් වශයෙන් මේ භාවනාව දෙවතානුස්සති යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.
මෙම දෙවතානුස්සති භාවනාව වැඩීමෙහි නිරත භික්‍ෂු තෙමේ දෙවියනට ප්‍රිය මනාප වේ, බොහෝ සෙයින් ශ්‍රද්ධාදියෙන් විපුලත්වයට පැමිණේ, ප්‍රීති ප්‍රමෝද බහුලව විවරණය කෙරේ. උසස් මාර්ග ඵලාදියක් නොලබනුයේ නම් සුගතිය කරා යන්නේ වේ.
තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය දෙවානුස්සතිය සදා.
එවං මහානුභාවාය දෙවානුස්සතිය සදා.
එහෙයින් නුවණැත්තේ සැම කල්හිම මෙවන් මහ අනුසස් ඇති දේවතානුස්සති භාවනාව කෙරෙහි ඒකාන්තයෙන් අප්‍රමාද බව වඩන්නේය.
මේ දේවතානුස්සතියෙහි විස්තර කථායි.
පකිණ්ණකකථා
මෙම ජඅනුස්සති භාවනාව පිළිබඳ විස්තර ඇතුළත් (මහානාම සූත්‍ර) දේශනාවෙහි, “ඒ යෝගාවචරයාගේ සිත එසමයෙහි තථාගතයන් අරබයා සෘජු බවට ගියේම වෙයි,” යන ආදිය කියා, “මහානාමය, සෘජුහාවයට ගිය සිත් ඇති ආර්යශ්‍රාවක තෙමේ අර්ත්‍ථය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය නිසා උපන් තුෂ්ටියද ලබයි, ධර්මය හා සමග යෙදුණු ප්‍රමෝදයද ලබයි, ප්‍රමුදිත වූ ඔහුට ප්‍රීතිය උපදී’ යනුවෙන් කියනලදී. එහි ‘ඉතිපි සො භගවා’ යන ආදියෙහි අර්ත්‍ථය නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති අත්‍ථවෙදං යයිද, එහි පෙළ නිසා උපන් තුෂ්ටිය සඳහා ලභති ධම්මවෙදං යයිද, එම අර්ත්‍ථ, ධර්ම යන දෙකෙහිම ස්වභාව වශයෙන් ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං යයිද කියනලදැයි දතයුතුය.
දේවතානුස්සතියෙහි දෙවතා ආරබ්හ යනුවෙන් යමක් කියන ලද්දේ ද, එය පළමුකොට දෙවියන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ දේවතා ගුණයන් හා සමානවූ තමාගේ ගුණයන් අරබයා, නොහොත්, දේවතාභාවය දනවනසුලු තමාගේ ගුණයන් අරබයා පවත්වනලද සිත් වශයෙන් හෝ කියන ලදැයි දතයුතුය.
මෙම අනුස්සති භාවනා සය ආර්ය ශ්‍රාවකයන්හටම සමෘද්ධ වේ. ඔවුන්හට හට වනාහි බුදුගුණ, දහම්ගුණ, සඟගුණ ප්‍රකට වේ, එම ආර්ය ශ්‍රාවකයෝද අඛණ්ඩතාදී ගුණ ඇති ශීලයෙන්ද, මසුරුමල පහවූ ත්‍යාගයෙන්ද, මහානුභාවසම්පන්න දෙවියන්ගේ ගුණයන් හා සමානවූ ශ්‍රද්ධාදී ගුණයෙන් සමන්විත වූවාහුය. මහානම සූත්‍රයෙහිද, සෝවාන් වූවහුට නිස්සයවිහාර (කමටහන් විහරණ) යන් විචාළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවාන් වූවහුට කමටහන් විහරණ දක්වනු පිණිසම මේ අනුස්සති භාවනා සය විස්තර වශයෙන් දේශනා කරන ලද්දේය.’
ගේධ සූත්‍රයෙහිද, “මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ, ‘ඉතිපි සො භගවා’ යන ආදී වශයෙන් තථාගතයන් සිහි කරයි-පෙ-ඔහුගේ සිත එසමයෙහි සෘජුභාවයට ගියේම වේ. ගෙධ (පංචකාම ගුණ) යෙන් වෙන්වූයේ, මිදීගියේ, නැගී සිටියේ වේ. මහණෙනි, ගෙධ යන මෙය පංචකාමගුණයට අධිවචනයෙකි. මහණෙනි, මේ බුද්ධානුස්සතිය අරමුණු කොටගෙන මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධියට පැමිණෙති”යි මෙසේ ආර්යශ්‍රාවකයා විසින් අනුස්සති භාවනා වශයෙන් සිත පිරිසිදුකොට උත්තර වූ පරමාර්ත්‍ථ විශුද්ධිය අවබෝධ කිරීම දක්වනු පිණිස කියන ලද්දේය.
ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් විසින් දේශනා කරනලද සම්බාධොකාස සූත්‍රයෙහිද, “ඇවැත්නි, දන්නා, දක්නා, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්බාධ (හෙවත් තෘෂ්ණා ක්ලේශාදී ගැහැට) සහිත ගිහිගෙහි සිටියදීම සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස -පෙ නිර්වාණාවබෝධය පිණිස, යම් මේ අනුස්සති භාවනා සයක් ඔකාසාධිගම වශයෙන් දන්නා ලද්දේ ද, එය ආශ්චර්යෙයකි, අද්භූතයෙකි, කිනම් භාවනා සයෙක්ද? ඇවැත්නි මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් අනුස්මරණය කරයි -පෙ-මෙසේ මේ ශාසනයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධිස්වභාව ඇත්තෝ වන්නාහුය.” මෙසේ ආර්යශ්‍රාවකයාගේම පරමාර්ත්‍ථ විශුද්ධි ස්වභාවය පිණිස ඔකාස අධිගම වශයෙන් කියන ලද්දාහුය.