චාගානුස්සති භාවනාව
චාගානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් වනාහි ප්‍රකෘතියෙන්ම පරිත්‍යාග ශීලයකු වියයුතුය, නිරතුරුව පවත්වනු ලබන දානයෙන්ද, බෙදාගෙන පරිභෝග කිරීමෙන්ද යුක්ත වූවකු වියයුතුය. නොහොත් භාවනාව අරඹන්නහු විසින්, “අද පටන් මෙතැන් සිට ප්‍රතිග්‍රාහකයකු ලැබෙතොත් යටත් පිරිසෙයින් අහර පිඬක් තරම් වූ හෝ දානයක් නොදී නොවළදන්නෙමි’යි සමාදන්වී, එදවස්හි ගුණයෙන් විශිෂ්ට වූ ප්‍රතිග්‍රාහකයන් වෙත ශක්ති ප්‍රමාණයෙන්, හැකි පමණින් දන් දී, එහි නිමිති ගෙන හුදෙකලාව විවේකීව, ‘ඒකාන්තයෙන් මට වූයේ ලාභයෙකි, මවිසින් මනාකොට ලබන ලද්දෙකි, මසුරු මලයෙන් මඩනාලද සත්ත්‍වයා අතර මම මසුරු මලයෙන් තොර සිත් ඇතිව, නිරපේක්‍ෂ පරිත්‍යාගයෙහි යෙදුනෙම් (දන්දෙනු පිණිස) නිතර දිගුකරනලද අත් ඇතිව ත්‍යාගයෙහි නියැලියකුව, යදිනු ලැබීමට සුදුස්සකුව, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද ඇලුණකුව වාසය කරමි’යි මෙසේ මසුරුමල දුරුකිරීම් ආදී ගුණ වශයෙන් තමාගේ ත්‍යාගගුණය ගැන මෙනෙහි කළයුතුය.
එහි, ලාභා වත මෙ යනු ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට යහපතැයි “ආයුෂ දී දිව්‍යවූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමිවෙයි” යනුවෙන්ද, “දෙන තැනැත්තේ (ජනයාට) ප්‍රිය වන්නේය” යනුවෙන්ද, “බොහෝ දෙනා ඔහු ඇසුරු කෙරෙති” යනුවෙන්ද, “දෙන තැනැත්තේ ප්‍රිය පුද්ගලයෙක් වන්නේය” යනුවෙන්ද, “සත්පුරුෂ ධර්මයට ක්‍රමයෙන් පැමිණීමෙකි” යනුවෙන්ද මේ ආදී නයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන්නහුට වන ලාභයෝ වර්ණනා කරන ලද්දාහුය, ඒ ලාභයෝ මට අවශ්‍යයෙන්ම සිදු වන්නාහුය යනු අභිප්‍රායයි. සුලද්ධං වත මෙ යනු, මවිසින් යම් ශාසනයක් නොහොත් මිනිසත් බවක් ලබන ලද්දේ ද, එය මනා ලෙසින්ම ලබන ලද්දේය, කවර හෙයින්දයත්, මසුරු මලයෙන් මඩනා ලද ජනයා අතර - පෙ -දානයෙහි හා බෙදාගෙන වැළදීමෙහි ඇලුණේ වෙමි.
එහි මච්ඡෙරමලපරියුට්ඨිතාය යනු, මසුරු මලින් මඩනාලද, පජාය යනු, ඉපැදීම් වශයෙන් සත්ත්‍වයෝ ‘පජා’ යයි කියනු ලබත්. එහෙයින් තමන්ගේ සම්පත් අනුන්හටද පොදුබව නො-ඉවසීම ලක්‍ෂණකොට ඇති, සිතෙහි පිරිසුදුබව කිලුටු කරන පාපධර්මයන් අතුරෙන් එකක් වන මසුරු මලින් මඩනාලද සත්ත්‍වයන් අතරැයි යනු මෙහි අර්ත්‍ථයි. විගතමලමච්ඡරෙන යනු, රාග ද්වේෂාදී අන්‍ය වූ පාපධර්මයන්ගෙන් හා මසුරු බවින්ද දුරු වූ හෙයිනියි යන අර්ත්‍ථයි. විගතමලමච්ඡරෙන චෙතසා විහාරාමි යනු, මෙසේ කියන ලද ප්‍රකාර සිත් ඇතිව වාසය කරමි’යි යන අර්ත්‍ථයි. සූත්‍ර දේශනාවන්හි වනාහි, සෝවාන් ඵලයට පත්ව නිස්සයවිහාර (වැඩිය යුතු කමටහන්) විචාළ මහානාම නම් ශාක්‍යයාහට නිස්සයවිහාර වශයෙන් දේශනා කරන ලද හෙයින් එහි අගාරං අජ්ඣාවසාමි’යි (ගිහිගෙහි වාසය කරමි’යි) කියන ලදි. එහි ‘රාගාදී කෙලෙසුන් මැඩ වාසය කරමි’යි යන අර්ත්‍ථයි.
මුත්තචාගො යනු අපේක්‍ෂා රහිත ත්‍යාගී බවයි. පයතපාණී යනු, පිරිසුදු අත් ඇතිව දියයුතු වස්තූන් මනාකොට සියතින් දෙනු පිණිස සැමවිටම දිගුකළ අත් ඇතිව’යි කී නියායි. වොස්සග්ගරතො යනු, වොස්සග්ග නම් දීමයි, පරිත්‍යාගයයි යන අර්ත්‍ථයි, එම වොස්සග්ගයෙහි නිරන්තරයෙන් යෙදීම් වශයෙන් නියැලුණහ’යි වොස්සග්ගරත නමි. යාචයොගො යනු, අන්‍යයෝ යම් යම් දෙයක් ඉල්වත්ද, ඒ ඒ දෙය දෙන හෙයින් යදිනු ලැබීමට සුදුසුය යන අර්ත්‍ථයි, ‘යාජයෝග’ යන පාඨයද වේ, යජනයයි කියනු ලබන දානයෙන් යුක්ත වූයේයි යනු එහි අර්ත්‍ථයි. දානසංවිභාගරතො යනු, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද නියැලුණේ “මම වනාහි දන් දෙමි, මවිසින් පරිභෝග කළයුතු දෙයින්ද කොටසක් දෙමි, මේ දෙකෙහිම නියැලුණෙමි”යි මෙසේ මෙනෙහි කෙරෙයි යන අර්ත්‍ථයි.
මේ ආකාරයෙන් විගතමලමච්ඡෙරාදී වශයෙන් තමාගේ ත්‍යාගී ගුණය මෙනෙහි කරන ඔහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා ලද්දේ නොවේ, ද්වේෂයෙන්-පෙ-මෝහයෙන් මඩනා ලද්දේ නොවේ, ඔහුගේ සිත එසමයෙහි චාග ගුණය අරබයා සෘජුව පිහිටියේ වේ.’ පෙර කී නයින්ම නීවරණ පහව ගියවිට එක් වරම ධ්‍යානාංගයෝ උපදිත්. ත්‍යාග ගුණයන්ගේ ගැඹුරු බවින් හෝ නොයෙක් ආකාර ඇති ත්‍යාග ගුණයන් සිහි කිරීමෙහි නියුතුවූ හෙයින් හෝ අර්පණාවට නොපැමිණි උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. මෙසේ මේ භාවනාව ත්‍යාගගුණ සිහිකිරීම් වශයෙන් ‘චාගානුස්සති’යයි ව්‍යවහාරයට යෙයි.