සීලානුස්සති භාවනාව
සීලානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් වනාහි හුදෙකලාව විවේක සුවයෙන් යුක්තව, ‘අහෝ මාගේ ශීලය අඛණ්ඩය, සිදුරු රහිතය, කැලැල් රහිතය, පැල්ලම් රහිතය, ස්වාධීනය, නුවණැත්තන් විසින් පසස්නා ලදය, තෘෂ්ණාදී ක්ලේශයන් ගෑවී නැත, සමාධිය පිණිස පවත්නේය’යි මෙසේ අඛණ්ඩතාදී ගුණ වශයෙන් තමාගේ ශීලය සිහිපත් කළ යුතුය. එම ශීලයද, ගෘහස්ථයා විසින් ගෘහස්ථ ශීලයද ප්‍රව්‍රජිතයා විසින් ප්‍රව්‍රජිත ශීලයද සිහිකළ යුතුය.
ගෘහස්ථ ශීලය වේවා, ප්‍රව්‍රජිත ශීලය හෝ වේවා, මුල හෝ අග එක් ශික්‍ෂාපදයකුදු නොකැඩුණේ නම්, එය කෙළවරින් ඉරීගිය සළුවක් මෙන් කඩ නොවූයේයි අඛණ්ඩ නම් වේ, මැද එක් සික පදයකුදු නොබිඳුණේ නම් එම සීලය මැදින් ඉරී ගිය සළුවක් මෙන් සිදුරු නොවූයේ’යි අච්ඡිද්ද නම් වේ, පිළිවෙළින් සිකපද දෙකක් හෝ තුනක් නොකැඩුණේ නම් එම ශීලය පිටෙහි හෝ කුසෙහි නැඟුණු දිග, වටකුරු ආදී හැඩ ඇති විෂම වර්ණයෙන් යුත්, කළු, රතු ආදී එක්තරා ශරීර වර්ණයක් ඇති ගවදෙනකගේ මෙන් ශබල නොවූයේය’යි අශබල නම් වේ, යම් ශීලයක් අතරින් පතර කඩවී නැත්නම් එම ශීලය විෂම වර්ණ ඇති පුල්ලි සහිත දෙනක මෙන් කල්මාෂ නොවූයේ අකම්මාස නම් වේ. අවිශේෂයෙන් සියලු ශික්‍ෂාපදයෝ (යට ශීලනිර්දේශයෙහි කී) සත් වැදෑරුම් මෛථුන සංයෝගයෙන්ද, ක්‍රෝධ, වෛර ආදී පාප ධර්මයන්ගෙන්ද නොමඩනාලද හෙයින් අඛණ්ඩ වූවාහුද, අච්ඡිද්ද වූවාහුද, අශබල වූවාහුද, අකල්මාෂ වූවාහුද, එම ශික්‍ෂාපදයෝම තෘෂ්ණා දාසත්‍වයෙන් මුදවා නිදහස් බවට පත් කරනු ලැබීමෙන් ‘භුජිස්ස’ නම් වූවාහුය. බුද්ධාදී විඥයන් විසින් පසස්නා ලද හෙයින් ‘විඤ්ඤුප්පසත්‍ථ’ නම් වූවාහුය. තෘෂ්ණා දෘෂ්ටීන් නොතැවරුණු හෙයින් හෝ කිසිවකු විසින් මේ ඔබගේ ශීලයෙහි දෝෂයෙකි’යි මෙසේ අල්ලා දෙන්නට නොහැකි බැවින් ‘අපරාමට්ඨ’ නම් වෙති. උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ, නැතහොත් මාර්ගසමාධිය හෝ ඵලසමාධිය හෝ පිණිස පවත්නාහ’යි ‘සමාධිසංවත්තනික’ නම් වෙති.
මෙසේ අඛණ්ඩාදී ගුණ වශයෙන් තමාගේ ශීලය මෙනෙහි කරන්නහුගේ සිත එසමයෙහි රාගයෙන් මඩනා-ලද්දේ නොවේ, ද්වේෂයෙන් මඩනා-ලද්දේ නොවේ, මෝහයෙන් මඩනා-ලද්දේ හෝ නොවේ. ඔහුගේ සිත එසමයෙහි ශීලය අරබයා සෘජු බවට ගියේම වේ, පෙර කියනලද නයින්ම ප්‍රහීණ වූ නීවරණ ඇති ඔහුට එක් ක්‍ෂණයෙක්හිදී ධ්‍යානාංගයෝ උපදනාහුය. ශීලගුණයන්ගේ ගැඹුරුබව හේතුකොටගෙන, නැතහොත්, නානා ආකාර ඇති ගුණයන් සිහි කිරීමෙහි යෙදෙන හෙයින් අර්පණාවට නොපැමිණි, උපචාරයටම පැමිණි ධ්‍යානය වේ. එම ධ්‍යානය ශීලගුණ අනුස්මරණයෙන් උපන් හෙයින් ‘සීලානුස්සතිඣාන’ යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි.
මෙම සීලානුස්සති භාවනාවෙහි යෙදුණ භික්‍ෂු තෙමේ ශික්‍ෂාපද කෙරෙහි ගෞරව ඇත්තේ, ශීලසම්පන්නයන් හා සමාන පැවතුම් ඇත්තේ, අප්‍රමාදවූයේ, අත්තානුවාදාදී භයෙන් තොරවූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුලු වූයේ ශ්‍රද්ධාදී ගුණයෙන් මහත් බවට පැමිණේ, ප්‍රීති ප්‍රමෝද බහුලවූයේද වේ. උසස් වූ මාර්ගඵලාදියක් නොලදහොත් සුගතිපරායන වන්නේය.
තස්මා හවෙ අප්පමාදං කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය සීලානුස්සතිය සදා.
එහෙයින්, යහපත් නුවණ ඇත්තේ මෙවන් මහානුභාව ඇති ශීලානුස්සති භාවනාවෙහි හැම කල්හිම, ඒකාන්තයෙන්ම අප්‍රමාදීභාවය ඇති කර ගන්නේය.
මේ සීලානුස්සති භාවනාවෙහි විස්තර කථායි.
චාගානුස්සති භාවනාව
චාගානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින් වනාහි ප්‍රකෘතියෙන්ම පරිත්‍යාග ශීලයකු වියයුතුය, නිරතුරුව පවත්වනු ලබන දානයෙන්ද, බෙදාගෙන පරිභෝග කිරීමෙන්ද යුක්ත වූවකු වියයුතුය. නොහොත් භාවනාව අරඹන්නහු විසින්, “අද පටන් මෙතැන් සිට ප්‍රතිග්‍රාහකයකු ලැබෙතොත් යටත් පිරිසෙයින් අහර පිඬක් තරම් වූ හෝ දානයක් නොදී නොවළදන්නෙමි’යි සමාදන්වී, එදවස්හි ගුණයෙන් විශිෂ්ට වූ ප්‍රතිග්‍රාහකයන් වෙත ශක්ති ප්‍රමාණයෙන්, හැකි පමණින් දන් දී, එහි නිමිති ගෙන හුදෙකලාව විවේකීව, ‘ඒකාන්තයෙන් මට වූයේ ලාභයෙකි, මවිසින් මනාකොට ලබන ලද්දෙකි, මසුරු මලයෙන් මඩනාලද සත්ත්‍වයා අතර මම මසුරු මලයෙන් තොර සිත් ඇතිව, නිරපේක්‍ෂ පරිත්‍යාගයෙහි යෙදුනෙම් (දන්දෙනු පිණිස) නිතර දිගුකරනලද අත් ඇතිව ත්‍යාගයෙහි නියැලියකුව, යදිනු ලැබීමට සුදුස්සකුව, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද ඇලුණකුව වාසය කරමි’යි මෙසේ මසුරුමල දුරුකිරීම් ආදී ගුණ වශයෙන් තමාගේ ත්‍යාගගුණය ගැන මෙනෙහි කළයුතුය.