සංඝානුස්සති භාවනාව
සංඝානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින්ද හුදෙකලාව විවේකීව, “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ මනා පිළිවෙතට පිළිපන්නාහුය, සෘජුවූ පිළිවෙතට පිළිපන්නාහුය, නිර්වාණගාමී මාර්ගයට පිළිපන්නාහුය, සුදුසුතම පිළිවෙතට පිළිපන්නාහුය. යම් මේ පුරුෂ යුගල සතරෙක් ඇත්ද, ඔහු (සතර මඟ සතර ඵල වශයෙන්) ආර්යපුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා වහන්සේ දුර සිට ගෙනවුත් පිළිගන්වනු ලබන සිවුපසය ලැබීමට සුදුස්සෝය, නොයෙක් දිශාවෙන් ගෙනවුත් පිළිගන්වනු ලබන සිවුපසය ලැබීමට සුදුස්සෝය, පරලොව අදහා දෙනු ලබන දක්‍ෂිණාව පිළිගැනීමට සුදුස්සෝය, දොහොත් මුදුන් දී වදිනු ලැබීමට සුදුස්සෝය, සියලු ලෝකයාහට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයද වන්නාහුය”යි. මෙසේ ආර්ය පුද්ගල සංඝයාගේ ගුණ සිහිපත් කළයුතුය.
එහි සුපටිපන්නො යනු මනාසේ පිළිපන්නාහුය, මනා පිළිවෙතට ප්‍රතිපක්‍ෂ ධර්මයන් නැවත නොපවත්නා පිළිවෙතට, නිර්වාණගාමීවූ අනුලෝම පිළිවෙතට, නිර්වාණයට අනනුරූප නොවන පිළිවෙතට, ධර්මයට අනුරූපවූ පිළිවෙතට පිළිපන්නාහුයි කී-නියායි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදානුශාසනා මනාකොට අසති’යි සාවක නම් වෙති, සාවකයන්ගේ සමූහය සාවකසංඝ නම් වෙති, ශීලයෙන් හා දෘෂ්ටියෙන් සමාන වන බැවින් එකමුතුබවට පැමිණි ශ්‍රාවක සමූහයා යන අර්ත්‍ථයි. යම්හෙයකින් වනාහි ඒ මනා පිළිවෙත සෘජුවූයේ, අවංකවූයේ, අකුටිලවූයේ, අව්‍යාජවූයේ වේද, (එහෙයින්ම) ආර්යයයි, න්‍යායයයි වහරනු ලැබේද, යෝග්‍ය වූ හෙයින් සාමීචියයි වහරට ගියේද, එහෙයින් එම පිළිවෙතට පිළිපන් ආර්ය සංඝයා උජුපටිපන්නයයිද, ඤායපටිපන්නයයිද, සාමීචිපටිපන්නයයිද කියන ලද්දාහුය.
මෙහිද යම් කෙනෙක් ආර්යමාර්ගයෙහි සිටියාහුද, ඔවුන් මනා පිළිවෙතින් යුතුවූ හෙයින් සුපටිපන්නයයිද, යම් කෙනෙක් ඵලයෙහි සිටියාහුද ඔවුන් මනා පිළිවෙතින් ලැබියයුතු දෙය ලබා ඇති හෙයින් ඉකුත් පිළිවෙත ගැන සලකා සුපටිපන්නයයිද දතයුතුය.
තවද මැනවින් දෙසනලද ධර්මවිනයෙහි අනුශාසිත වූ ලෙසින් පිළිපන් හෙයින්ද, නිවැරදි පිළිවෙතට පිළිපන් හෙයින්ද සුපටිපන්න වෙති.
අන්ත දෙකට නොගොස් වැඳුම් පිළිවෙතට පිළිපන් හෙයින්ද, කාය, වාක්, මනස් යන මෙහි වංක බව, කුටිල බව ව්‍යාජ බව යන දෝෂයන්ගේ ප්‍රහාණය පිණිස පිළිපන් හෙයින්ද උජුපටිපන්න වෙති.
ඤාය යනු නිර්වාණයයි කියනු ලැබේ. එම නිර්වාණය සඳහා පිළිපන් බැවින් ඤායපටිපන්න වෙති.
යම් ආකාරයකට පිළිපන්නාහු අනුන් විසින් කරනු ලබන සාමීචිකර්මයට සුදුස්සෝ වෙත්ද, එම ආකාරයට පිළිපන් හෙයින් සාමීචිපටිපන්න වෙති.
යදිදං යනු, යම් මේ, චත්තාරි පුරිසයුගානි යනු, ප්‍රථම ප්‍රථම ආර්යමාර්ගයෙහි සිටියේද ඵලයෙහි සිටියේදැ’යි මේ ආකාරයෙන් යුගල වශයෙන් ගෙන පුරිසයුගල සතරෙක් වෙති. අට්ඨපුරිසපුග්ගලා යනු පුරිසපුග්ගලයන් වශයෙන් ප්‍රථම මාර්ගයෙහි සිටියේ එක් පුද්ගලයෙකි, ඵලයෙහි සිටියේ තවත් පුද්ගලයෙකි’යි යන මේ නයින් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙති, මෙහි පුරිසො යනු හා පුග්ගලෝ යනු මේ පදයෝ සමාන වූ අර්ත්‍ථ ඇත්තාහුය, වෙනේය ජනයා සඳහා පුරිසපුග්ගලා යන මේ වචනය කියන ලද්දේය. එස භගවතො සාවකසංඝො යනු, භාග්‍යවතුන් වහන්සේගේ යුගල වශයෙන් යම් මේ පුරුෂ යුගල සතරක්වූද වෙන් වෙන් වශයෙන් පුරුෂ පුද්ගලයන් අට දෙනෙක්වූද ශ්‍රාවක සංඝයායි. ආහුනෙය්‍යො යන ආදියෙහි ගෙන අවුත් පිදිය යුතු වෙති’යි ආහුන නමි, දුරසිට වුවද ගෙන අවුත් සිල්වතුන්හට පිදිය යුතුය යන අර්ත්‍ථයි, මේ ‘ආහුන’ යන්න සිවුපසය හැඳින්වීමට වහරනු ලබන නාමයෙකි, එම ආහුනය පිළිගැනීමට සුදුසු වෙති’යි හෝ එය මහත්ඵල ඇතිකෙරෙතියි හෝ ආහුනෙය්‍ය නම් වෙති, නොහොත් දුර සිට වුවද ගෙනවුත් මුළු ධනයම මෙහි පිදීමට යෝග්‍ය වෙති’යි ආහවනීය නම් වෙති, ශක්‍රාදීන් විසින් පවා පුදනු ලැබීමට යෝග්‍ය වෙති’යි ආහවනීය නම් වෙති, බ්‍රාහ්මණයන්ගේ යම් මේ ආහවනීය නම් ගිනි විශේෂයක් වේද, එම ආහවනීය නම් ගින්නෙහි පුදන ලද්ද, මහත්ඵල වෙති’යි ඔවුන්ගේ විශ්වාසයෙක් වේද, ඉදින් පුදනලද්ද මහත්ඵල වන හෙයින් ආහවනීය නම් වෙතොත්, මේ සංඝයාම ආහවනීය වෙති, සංඝයා කෙරෙහි දෙනලද්ද මහත්ඵල වේ. කියනලදමැයි:
යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ
එකඤ්ච භාවිතත්තානං මුහුත්තම්පි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යා යඤ්චෙ වස්සසතං හුතං”
යම් පුද්ගලයෙක් තෙමේ හවුරුදු සියයක් මුළුල්ලේ වනයෙහි ගිනි පුදන්නේ, එක් මොහොතක් හෝ වඩනාලද සිත්ඇති සංඝයා පුදන්නේද, හවුරුදු සියයක් කළ අග්නි පූජාවට වඩා එම පූජාවම උතුම් වේ.
නිකායාන්තරයෙක්හි ‘ආහවනීය’යි දක්වන ලද මේ පදය මෙහි ‘ආහුනෙය්‍ය’ යන පදය හා අර්ත්‍ථයෙන් සමානය, ව්‍යංජන (ශබ්ද) වශයෙන් වනාහි මෙහි කිසියම් සුලු වෙනසක් ඇත, මෙසේ ආහුනෙය්‍ය නම් වෙති.
පාහුනෙය්‍යො යන මෙහි වනාහි, දිසා අනුදිසාවන්ගෙන් ආ ප්‍රියමනාප වූ ඥාතිමිත්‍රයන් සඳහා සත්කාර වශයෙන් සපයන ලද ආගන්තුකදානය ‘පාහුන’ යයි කියනු ලැබේ, එම පාහුනයද එබඳු වූ ඥාතිමිත්‍රයන් පසෙක සිටියදී සංඝයාහට දීමට යෝග්‍ය වේ, සංඝයාද එය පිළිගැනීමට සුදුසු වෙති. පාහුනය ලැබීමට සංඝයා හා සමාන සුදුසුකම් ඇති අන් කෙනෙක් නැත. ඒ එසේමැයි, මේ සංඝයා වනාහි එක් බුද්ධාන්තරයෙහික්දීම සංකර නොවී දිස්වෙති, ප්‍රියමනාප බව උපදවන ධර්මයන්ගෙන් සමන්විතද වෙති. මෙසේ පාහුනය මොවුන්හට දියයුතුය, පාහුනය පිළිගැනීමට සුදුසුද වෙති’යි පාහුනෙය්‍ය නම් වෙති. යම් කෙනෙකුන්හට පාහවනීය යන පාඨය (රුචි) වේද, ඔවුන්හට යම්හෙයකින් සංඝයා ප්‍රථම සත්කාරයට සුදුසු වෙත්ද, එහෙයින් සියල්ලනට පළමුව ගෙනවුත් මේ සංඝයා වෙත පිදිය යුතුයයි පාහවනීය නම් වෙයි, සියලු ආකාරයෙන් ගෙනවුත් පිදීමට සුදුසු වෙති’යි හෝ පාහවනීය නම් වෙති. මෙහිදී සංඝයා එම අර්ත්‍ථයෙන්ම පාහුනෙය්‍ය යයි කියනු ලබති.