ධම්මානුස්සති භාවනාව
ධම්මානුස්සති භාවනාව වඩනු කැමැත්තහු විසින්ද හුදකලාව කායචිත්ත විවේකයෙන් යුක්තව, “භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද මේ පර්යාප්ති ධර්මයද නවවිධ ලෝකෝත්තර ධර්මයද තමා විසින්ම නොහොත් මේ ආත්මභාවයෙහිදීම දැක්ක යුතුය, කල් නොයවා පල දෙවනු සමත්ය, එව බලව’යි දැක්වීමට සුදුසුය. තමා විසින් තම සිත්හි එළවීමට සුදුසුය, පණ්ඩිතයන් විසින් තම තමන් විසින්ම ප්‍රත්‍යක්‍ෂ කරනු ලැබීමට සුදුසුය’යි මෙසේ පර්යාප්ති ධර්මයෙහිද, නවලෝකෝත්තර ධර්මයෙහිද ගුණ සිහිකළ යුතුය.
ස්වාක්ඛාතො යන මේ පදයෙහි පර්යාප්ති ධර්මයද ඇතුළත් වේ. ‘සන්‍දිට්ඨිකො’ යන ආදී සෙසු පදවල ලෝකෝත්තර ධර්මයම ඇතුළත් වේ. එහි පළමුකොට පර්යාප්ති ධර්මය මුල, මැද, අග යන තුන්තන්හිම යහපත්වන හෙයින්ද, අර්ත්‍ථයෙන් හා ව්‍යංජනයෙන් සර්වප්‍රකාරයෙන් පරිපූර්ණවන හෙයින් හා සුපරිසුද්ධ බ්‍රහ්මචර්යාව ප්‍රකාශකරන හෙයින්ද ‘ස්වාක්ඛාත’ නම් වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් එක් ගාථාවක් හෝ දේශනා කෙරෙත්ද, එය සැම අතින්ම යහපත් වන හෙයින් (එම ගාථාවෙහි) පළමු පාදයෙන් ආදිකල්‍යාණද, දෙවන තෙවන පාදයන්ගෙන් මධ්‍යකල්‍යාණද අවසන් පාදයෙන් පර්යවසානකල්‍යාණද වන්නේය. ඒකානුසන්‍ධික (බොහෝ විභාග නැති සංක්‍ෂිප්ත) සූත්‍රයක් නම්, එය නිදානයෙන් ආදිකල්‍යාණද, නිගමනයෙන් පර්යවසානකල්‍යාණද, සෙසු කොටස්වලින් මධ්‍යකල්‍යාණද වන්නේය. නානානුසන්‍ධික (විස්තර විභාග සහිත) සූත්‍රයක් නම්, පළමුවන අනුසන්‍ධියෙන් ආදිකල්‍යාණද, අවසන් අනුසන්‍ධියෙන් පර්යවසාන කල්‍යාණද, සෙසු අනුසන්‍ධීන්ගෙන් මධ්‍යකල්‍යාණද වන්නේය. තවද: නිදානසහිත බැවින් හා අර්ත්‍ථෝත්පත්ති සහිත බැවින් ආදිකල්‍යාණ වන්නේය, වෛනේයජනයනට යෝග්‍යවූ හෙයින්ද, අර්ත්‍ථය නොවෙනස්වන හෙයින්ද, හේතු-උදාහරණයන්ගෙන් යුක්ත වූ හෙයින්ද මධ්‍යකල්‍යාණ වන්නේය, අසන්නවුනට ශ්‍රද්ධප්‍රතිලාභය දනවන නිගමන ඇති හෙයින් පර්යවසානකල්‍යණ වන්නේය.
සකල ශාස්තෘශාසනය ප්‍රකාශකරන පර්යාප්තිධර්මය ස්වකීය අර්ත්‍ථය වූ ශීලයෙන් ආදිකල්‍යාණද, සමථ විපස්සනා මාර්ගඵලයන්ගෙන් මධ්‍යකල්‍යාණද, නිර්වාණයෙන් පර්යවසානකල්‍යාණද වන්නේය. නොහොත්, ශීල සමාධි යන දෙකින් ආදිකල්‍යාණද විපස්සනා, මග්ග යන දෙකින් මධ්‍යකල්‍යාණද, ඵල, නිර්වාණ යන දෙකින් පර්යවසානකල්‍යාණද වන්නේය. නොහොත්, බුදුන් විසින් මනාලෙස අවබෝධ කළ හෙයින් ආදිකල්‍යාණද, ධර්මයම මනා ස්වභාවයෙන් යුක්ත වූ හෙයින් මධ්‍යකල්‍යාණද, සංඝයා සුපිළිවෙත් සහිත වන හෙයින් පර්යවසාන කල්‍යාණ ද වන්නේය. එම ධර්මය අසා දැන ඒ අනුව පිළිපන්නහු විසින් අවබෝධ කටයුතු සම්‍යක් සම්බෝධියෙන් ආදිකල්‍යාණද, ප්‍රත්‍යෙක බෝධියෙන් මධ්‍යකල්‍යාණද, ශ්‍රාවක බෝධියෙන් පර්යවසානකල්‍යාණ ද වන්නේය.
මේ ධර්මය අසනු ලබනවිටම නීවරණයන් දුරුකරන හෙයින් ඇසීමෙන් පවා යහපත ගෙනදෙති’යි ආදිකල්‍යාණ වන්නේය, පිළිපදිනු ලබනවිට සමථ විපස්සනා සුඛය ගෙනදෙන හෙයින් පිළිපැදීමෙන්ද යහපත ගෙනදෙති’යි මධ්‍යකල්‍යාණ වන්නේය, පිළිපදනාලද මෙම ධර්මය ප්‍රතිපත්තිඵලය නිමවූ කල්හි අපේක්‍ෂිත අර්ත්‍ථය එළවන හෙයින් ප්‍රතිපත්ති ඵලයෙන්ද යහපත ගෙනදෙති’යි පර්යවසානකල්‍යාණ වන්නේය. මෙසේ මුල මැද අග යන තුන් තන්හිම කල්‍යාණ වන හෙයින් මනාසේ පවසන ලද්දේ (ස්වාක්ඛාත) වේ.
සංකාසන (සැකෙවින් හැඟවීම), පකාසන (විසිතුරු කොට පැවසීම) විවරණ (නොපළට තැන් පළට කිරීම), විභජන (විග්‍රහ කිරීම) උත්තානීකරන (පැහැදිලි කිරීම), පඤ්ඤත්ති (ධාරණය කිරීම) යන මේ සවැදෑරුම් අර්ත්‍ථ පදයන්ගේ සමායෝජනයෙන් හෙවත් එක්ව යෙදීමෙන් ‘සාර්ත්‍ථ’ නම් වේ. අක්ඛර, පද, ව්‍යංජන, ආකාර, නිරුත්ති, නිද්දේස යන මේ සවැදෑරුම් සම්පත්තියෙන් ‘සව්‍යංජන’ නම්වේ. අර්ත්‍ථගම්භීරතාවෙන් යුක්ත වූ හෙයින් සාර්ත්‍ථ නම්වේ, ධර්ම ගම්භීරතාවෙන් හා දේශනාගම්භීරතාවෙන් යුක්තවූ හෙයින් සව්‍යංජන නම් වේ. අත්‍ථපටිසම්භිදා පටිභානපටිසම්භිදා යන දෙකට විෂය වූ හෙයින් සාර්ත්‍ථ නම්වේ, ධම්මපටිසම්භිදා නිරුත්තිපටිසම්භිදා යන දෙකට විෂය වූ හෙයින් ‘සව්‍යංජන’ නම් වේ. නුවණැත්තන් විසින් දතහැකිවන හෙයින් පරීක්‍ෂක ජනයාට ප්‍රසාදය ජනිත කරවති’යි “සාර්ත්‍ථ” නම්වේ, ඇදහිය හැකිවන හෙයින් ලෞකික ජනයාහට ප්‍රසාදය ගෙනදෙති’යි සව්‍යංජන නම්වේ. ගම්භීර අභිප්‍රාය ඇති හෙයින් සාර්ත්‍ථ නම්වේ, සුබෝධ වූ පද ඇති හෙයින් සව්‍යංජන නම්වේ. එක්කළයුතු කිසිවක් නොමැති හෙයින් සියල්ලෙන් පරිපූර්ණ වූ බැවින් කේවලපරිපූණ්ණ නම්වේ, ඉවත් කළයුතු කිසිවක් නැති හෙයින් නිදොස් වන බැවින් පරිසුද්ධ නම්වේ.
තවද ප්‍රතිපත්තියෙන් අධිගමය ව්‍යක්තවන හෙයින් සාර්ත්‍ථ නම්වේ. පර්යාප්ති ධර්මයෙන් ආගම ව්‍යක්තවන හෙයින් සව්‍යංජන නම්වේ. ශීලාදී පංචධර්මස්කන්‍ධයෙන් යුක්තවන හෙයින් කේවලපරිපූණ්ණ නම්වේ. දිට්ඨි, මාන ආදී උපක්ලේශයන්ගෙන් තොරවූ හෙයින්, සසරවටින් ගොඩ යනු පිණිස පවත්නා හෙයින්, හා ලෝකාමිෂයෙහි අපෙක්‍ෂා නැති හෙයින් පිරිසිදුවූහ’යි මෙසේ සාර්ත්‍ථ, සව්‍යංජන, කෙවලපරිපූණ්ණ, පරිසුද්ධ, බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන හෙයින් ‘ස්වාක්ඛාත’ නම් වේ.
නොහොත්, අර්ත්‍ථවිපර්යාසයක් නොවන හෙයින් මනාසේ කියන ලදහ’යි ස්වාක්ඛාත නම්වේ. යම්සේ අන්‍යතීර්ත්‍ථකයන්ගේ ධර්මයෙහි අර්ත්‍ථය විපර්යාසයට පැමිණේද, අන්තරායිකයයි කියන ලද ධර්මයන් අන්තරායික නොවියහැකි හෙයින්ද, නෛර්යානිකයයි කියනලද ධර්මයන් නෛර්යානික නොවියහැකි හෙයින්ද ඒ තීර්ත්‍ථකජනයා මනාසේ නොකියනලද (දුරක්ඛාත) ධර්ම ඇත්තාහුම වෙති, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ත්‍ථය ඒ ආකාරයෙන් විපර්යාසයට නොපැමිණේ, මේ ධර්මයෝ අන්තරායිකයහ’යිද, මේ ධර්මයෝ නෛර්යානිකයහ’යිද කියන ලද්දාහු නම්, එම ධර්මයන් කියනලද ස්වභාවය නොඉක්මවන හෙයිනි. මෙසේ පළමුකොට පර්යාප්ති ධර්මය ස්වාක්ඛාත නම්වේ,
ලෝකෝත්තර ධර්මය වනාහි නිර්වාණයට අනුරූපවූ ප්‍රතිපත්තියද, ප්‍රතිපදාවට අනුරූපවූ නිර්වාණයද කියනලද බැවින් ස්වාක්ඛාත නම්වේ. යම්සේ කියනලදද: “ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාසේ පනවන ලද්දේම වේ, නිර්වාණයද ප්‍රතිපදාවද එකිනෙක සැසඳී, යම්සේ වනාහි ගංගා නදී ජලය යමුනා නදී ජලය හා සමග සැසඳේ ද, සමවේද, එසේම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාසේ පනවන ලද්දේම වේ, නිර්වාණයද ප්‍රතිපදාවද එකිනෙක සැසදේ” මෙහි ආර්යමාර්ගයද අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදා වූයේම මධ්‍යම ප්‍රතිපදායයි කියනලද හෙයින් ස්වාක්ඛාත නම්වේ. ශ්‍රාමණ්‍යඵලයෝද සන්සුන් කෙලෙස් ඇති හෙයින්ම සන්සුන් කෙලෙස් ඇත්තාහ’යි කියන ලද හෙයින් ස්වාක්ඛාත නම් වෙති. නිර්වාණයද සස්සත (සදාකාලික), අමත (අමෘත), තාණ (රක්‍ෂාස්ථාන) ලෙණ (ආවරණ) යන ආදී ස්වභාව ඇත්තේම සස්සතාදී ස්වභාව වශයෙන් කියන ලද හෙයින් ස්වාක්ඛාත නම් වේ. මෙසේ ලොකෝත්තර ධර්මයද ස්වාක්ඛාත නම්වේ.
සන්‍දිට්ඨිකො යන මෙහි වනාහි, ආර්යමාර්ගය තමාගේ සන්තානය තුළ රාගාදී කෙලෙසුන් වඳ කිරීමෙන් තමා විසින්ම දතයුතු වෙති’යි “සන්‍දිට්ඨික’ නම් වේ. යම්සේ කියන ලදද: ‘බ්‍රාහ්මණය, රාගී පුද්ගල තෙමේ රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් වෙළාගන්නාලද සිත් ඇත්තේ, තමා පෙළනු පිණිසද ප්‍රයෝග කරයි, අනුන් පෙළීම පිණිසද ප්‍රයෝග කරයි, දෙපක්‍ෂයම පෙළනු පිණිසද ප්‍රයෝග කරයි, චෛතසික වූ දුක් දොම්නස්ද විඳියි, රාගය පහ කරනලද කල්හි තමා පෙළනු පිණිසද, අනුන් පෙළනු පිණිසද, දෙපක්‍ෂයම පෙළනු පිණිසද ප්‍රයත්න නොකරයි, චෛතසික වූ දුක් දොම්නස්ද නොවිඳියි, බ්‍රාහ්මණය මෙසේද ධර්මය සන්‍දිට්ඨික වන්නේය. තවද නවවිධ වූ ලෝකෝත්තර ධර්මය, යම් යම් පුද්ගලයකු විසින් අවබෝධ කරන ලද්දේ වේද, ඒ ඒ පුද්ගලයා විසින් අනුන් කෙරෙහි ඇදහීමෙන් යායුතුබව හැර ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් තමා විසින්ම දතයුතු වෙති’යි ‘සන්‍දිට්ඨික’ නම් වේ. නොහොත් ප්‍රශස්ත වූ දෘෂ්ටිය සන්‍දිට්ඨි නමි, එම සන්‍දිට්ඨිය හේතුකොටගෙන ජය ගනී යන අර්ත්‍ථයෙන් සන්‍දිට්ඨික නම් වේ. ඒ එසේම වේ, මෙහි ආර්යමාර්ගය තමා සමග යෙදුණා වූ සන්‍දෘෂ්ටිය හේතුකොටගෙනද, ආර්යඵලය තමාට කාරණ වූ සන්‍දෘෂ්ටිය හේතුකොටගෙනද, නිර්වාණය තමාට විෂය වූ සන්‍දෘෂ්ටිය හේතුකොටගෙනද ක්ලේශයන් ජයගනී. එහෙයින්, යම්සේ රථය හේතුකොටගෙන ජයගනී යන අරුතින් රථික නම් වේද, එසේ නවවිධ වූ ලෝකෝත්තර ධර්මය සන්‍දෘෂ්ටිය හේතුකොටගෙන ජයගනී යන අරුතින් සන්‍දිට්ඨික නම් වේ.