පඤ්චඞ්ගවිප්පහීනාදි
පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං (අංග පසෙකින් හීනවූ අංග පසෙකින් සමන්විත වූ) යනු, එහි කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ නීවරණ පස ප්‍රහීණ කිරීම් වශයෙන් පඤ්චඞ්ගවිප්පහීනතාව දතයුතුය, මොවුන් පහනොවූ කල ධ්‍යානය නො-උපදියි, එහෙයින් මේ පස පහාණ අංගයයි කියනු ලැබේ. කෙසේවතුදු ධ්‍යානක්‍ෂණයෙහි අන්‍ය වූ අකුශල ධර්මයෝද පහවෙති, එසේ නමුදු මේ නීවරණයෝම විශේෂයෙන් ධ්‍යානයට අන්තරායකර වෙති. කාමච්ඡන්‍දය හේතුකොටගෙන නොයෙක් අරමුණු මඟින් පොළඹවන ලද සිත එකාග්‍රතාව එළවන කසිණ ආදී අරමුණෙහි සමාහිත නොවේ, නොහොත් කාමච්ඡන්‍දයෙන් මඩනාලද සිත කාමධාතු ප්‍රහාණය පිණිස වූ ප්‍රතිපදාවට නොපිවිසේ. ව්‍යාපාදය හේතුකොටගෙනද, අරමුණෙහි ගැටෙමින් නිරතුරුව නොපවතී, ථිනමිද්ධයෙන් මඩනාලද සිත අකර්මණ්‍ය වේ, උද්ධච්ච-කුක්කුච්චයෙන් මඩනාලද සිත නොසන්සුන්වම ඔබමොබ භ්‍රමණය වේ, විචිකිච්ඡාවෙන් පහරනලද සිත ධ්‍යානාධිගමය සිද්ධකරන පිළිවෙතට නොනැගේ. මෙසේ විශේෂයෙන් ධ්‍යානයට අන්තරායකර වූ හෙයින් මෙම නීවරණයෝම ප්‍රහාණ අංගයයි කියන ලද්දාහුය.
යම් හෙයකින් වනාහි විතක්කය අරමුණට සිත යොමුකරවයිද, විචාරය අරමුණෙහි සිත හසුරුවයිද, එම විතක්ක විචාර යන දෙකින් වික්‍ෂේප නොවන සේ සකසනලද සිතෙහි මනාකොට යෙදීමෙන් උපන් පීතිය පිනවීමද, සුඛය වර්ධනයද ඇතිකරවයි. ඉක්බිති සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත වූ එම සිත අරමුණට යොමුකිරීම, පිනවීම, වර්ධනය, යන මෙයින් අනුගෘහීත වූ එකාග්‍රතාව විසින් එකත්‍වාලම්බනයෙහි සමකොට මනාකොට පිහිටුවනු ලැබේ. එහෙයින් විතක්කය, විචාරය, පීතිය, සුඛය, එකග්ගතාය යන පසෙහි ඉපැදීම් වශයෙන් පඤ්චාඞ්ගසමන්විතතාව දතයුතුය. මෙම අංග පස උපන්කල ධ්‍යානය උපන්නේ වේ, එහෙයින් මේ පස සමන්වාගත අංගයයි කියනු ලැබේ. එහෙයින්ම (මෙම අංග පස මිස) මේ අංග පසින් සමන්විත වූ ධ්‍යාන නම් අනෙක් යමක් ඇතැ’යි නොගත යුතුය. යම්සේ වනාහි චතුරඞ්ගිනී සෙනාය, පඤ්චාඞ්ගිකතූර්යය, අෂ්ටාඞ්ගික මාර්ගයයි අඞ්ගමාත්‍ර වශයෙන්ම වහරනු ලැබේද, එසේම මෙයද අඞ්ගමාත්‍ර වශයෙන් පඤ්චාඞ්ගිකයයි හෝ පඤ්චඞ්ගසමන්නාගතයයි කියනු ලැබෙතැ’යි දතයුතුය.
මේ පඤ්චාඞ්ගයෝ උපචාරක්‍ෂණයෙහිද කිසියම් පමණෙකින් පවත්නාහුය, උපචාර විෂයෙහිදී ප්‍රකෘති චිත්තයට වඩා බලවත්ද වන්නාහුය. මෙහිදී වනාහි විතක්කය එයටත් වඩා බලවත්ව ප්‍රකට වූ ආකාරයෙන් අරමුණහි සිත නංවමින් උපදනේය, විචාරය අරමුණ අතිශයෙන් පිරිමදිමින් උපදනේය, පීති සුඛ යන දෙක සර්වාංග සහිත ශරීරය තුළ පැතිරෙමින් උපදනේය. එහෙයින් කීහ, මේ සකලාංග සහිත ශරීරය තුළ, විවේකයෙන් උපන් පීති සුඛ යන දෙකින් නොපතළ කිසිවක් නැත.’ චිත්තෙකාග්‍රතාවද සුමුගුවෙක යටි පියන තුළ උඩු පියන වැදගන්නා සෙයින් අරමුණ මනාකොට ස්පර්ශ කෙරෙමින් උපදනේය. මෙම විතක්ක ආදීන් අතුරෙන් මෙම එකග්ගතාව අනෙක් අංගයන්ගෙන් ඇති විශේෂයයි. එහි චිත්තෙකග්ගතාව කිසිසේත් ‘සවිතක්කං සවිචාරං’ යන ආදී මේ පාඨයෙහි නොදක්වන ලද්දේ වී නමුදු එසේ වුවත් විභංගයෙහි ‘ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතා’ (ධ්‍යාන යනු විතක්කය, විචාරය, පීතිය, සුඛය, චිත්තෙකග්ගතාය යන මොහුය) යි මෙසේ කියනලද හෙයින් එය අංගයක් වන්නේය. යම් අභිප්‍රායයෙකින් ශාස්තෲන් වහන්සේ විසින් උද්දේස කරන ලද්දේ ද, එම අභිප්‍රායම උන්වහන්සේ විසින් විභංගයෙහි ප්‍රකාශ කරන ලද්දේය.
තිවිධකල්යාණං
තිවිධකල්‍යාණං දසලක්‍ඛණසම්පන්නං යනු, මෙහි ආදි, මධ්‍ය පර්යවසාන වශයෙන් ත්‍රිවිධකල්‍යාණතාව වේ. ආදි මධ්‍යපර්යවසානයන්ගේම ලක්‍ෂණ වශයෙන් දශලක්‍ෂණසම්පන්නතාව දතයුතුය.
එම කල්‍යාණ ලක්‍ෂණ විභාවනයෙහි පෙළ මෙසේය:
ප්‍රථම ධ්‍යානයෙහි ප්‍රතිපත්ති විශුද්ධිය ආදියයි, උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයයි, සම්ප්‍රහර්ෂණය (අතිශයින් තෘප්තභාවය) අවසානයයි. ප්‍රථමධ්‍යානය පිළිබඳ ප්‍රතිපත්තිවිශුද්ධිය ආදියයි. ආදියෙහි ලක්‍ෂණ කෙතෙක්ද? ආදියෙහි ලක්‍ෂණ තුනෙකි. ඒ ධ්‍යානයට අන්තරායකර වූ යමක් ඇද්ද එම අන්තරායකර ක්ලේශයන් කෙරෙන් මිදී සිත පිරිසුදු වෙයි, පිරිසිදු වූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පිළිපදියි (පැමිණෙයි), පිළිපන් හෙයින් එම නිමිත්ත තුළ සිත වැද ගනියි, අන්තරායකර ධර්මයන්ගෙන් සිත මිදීමෙන් පිරිසුදු වෙතැ’යි යන යමක් ඇත්ද, පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්ත කරා පැමිණෙතැ’යි යන යමක් ඇද්ද, පිළිපන් හෙයින් එහි සිත වැදගනිතැ’යි යන යමක් ඇද්දැ’යි, යන මේ ප්‍රථම ධ්‍යානයෙහි පටිපදා විසුද්ධිය ආදියයි. ආදියෙහි මෙකී ලක්‍ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය ආදි කල්‍යාණද ලක්‍ෂණසම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
‘ප්‍රථම ධ්‍යානයෙහි උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයයි. මධ්‍යයෙහි ලක්‍ෂණ කෙතෙක්ද? මධ්‍යයෙහි ලක්‍ෂණ තුනෙකි, පිරිසුදුවූ සිත පිළිබඳව උපෙක්‍ෂා කෙරේ, සමථයට වැදගැනීම පිළිබඳවද උපෙක්‍ෂා කෙරේ, එකඟබවට එළඹීම පිළිබඳවද උපෙක්‍ෂා කෙරේ. පිරිසුදුවූ සිත ගැන උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, සමථයට පිවිසීම පිළිබඳව උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, එකඟබවට එළඹීම ගැන උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇද්ද, ප්‍රථමධ්‍යානයෙහි මේ උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයට අයත්වේ, මධ්‍යයෙහි මෙකී ලක්‍ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය මධ්‍යයෙහි කල්‍යණද, ත්‍රිලක්‍ෂණ සම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
ප්‍රථමධ්‍යානය පිළිබඳ සම්ප්‍රහර්ෂණය පර්යවසානයයි, පර්යවසානයෙහි ලක්‍ෂණ කෙතෙක්ද? පර්යවසානයෙහි ලක්‍ෂණ සතරෙකි, එහි උපන් (සමාධි ප්‍රඥා යන) ධර්මයන්ගේ ඉක්මවීමක් නොමැති හෙයින් සම්ප්‍රහර්ෂණය වේ, (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් (විමුක්ති රසයෙන්) ඒකරස වන හෙයින් සම්ප්‍රහර්ෂණය වේ, මෙකී අනති වර්තන (නොඉක්මවීම) ය, ඒකරසය යන දෙකට අනුරූප වූ වීර්යය ගෙනදෙන හෙයින් සම්ප්‍රහර්ෂණය වේ. නැවත නැවත ආසේවනය කිරීමේ අර්ත්‍ථයෙන් සම්ප්‍රහර්ෂණය වේ. ප්‍රථම ධ්‍යානයෙහි සම්ප්‍රහර්ෂණය පර්යවසානයයි, එම පර්යවසානයෙහි මෙකී ලක්‍ෂණ සතර විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථම ධ්‍යානය පර්යවසානකල්‍යාණද, යථොක්ත ලක්‍ෂණ සතරින්ද යුක්ත වෙතැ’යි කියනු ලැබේ’
එහි පටිපදාවිසුද්ධි (ප්‍රතිපත්ති විශුද්ධි) නමි ආවර්ජන පරිකර්ම සහිත වූ උපචාරයයි. උපෙක්‍ඛානුබ්‍රෑහනා (උපේක්‍ෂා වර්ධනය) නම් අර්පණායි. සම්පහංසන (සම්ප්‍රහර්ෂණ) නම් ප්‍රත්‍යවෙක්‍ෂණයයි යනුවෙන් ඇතැමෙක් (අභයගිරිවාසීහු) විස්තර කෙරෙති. යම් හෙයකින් වනාහි ඒකාග්‍රතාවට පැමිණි සිත පටිපදාවිසුද්ධියට පිළිපන්නේ, උපෙක්‍ෂාවෙන් වැඩුණේ, නුවණින්ද විශෝධිත වූයේයයි’ පෙළෙහි කියන ලද්දේ ද, එහෙයින් අර්පණාව ඇතුළතම ආගමන හේතුවෙන් පටිපදාවිසුද්ධිය වන්නේය, එහි (මධ්‍යස්ථතා සංඛ්‍යාත) උපෙක්‍ෂාකෘත්‍ය වශයෙන් උපෙක්ඛානුබ්‍රෑහණය (උපෙක්‍ෂා වර්ධනය) වන්නේය, ධර්මයන් එකිනෙක නොඉක්මවීම ස්වභාවය සිද්ධ කරන හෙයින් පරියොදපන (පිරිසුදු කරන) ඥානයෙහි කෘත්‍යනිෂ්පත්ති වශයෙන් සම්ප්‍රහර්ෂණය වෙතැ’යි දතයුතුය.