4. පඨවිකසීණ නිර්දේශය
ඉක්බිති සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහරන්තෙන (සමාධිභාවනාවට යෝග්‍ය නොවූ විහාරය හැර යෝග්‍ය වූ විහාරයෙක්හි වෙසෙන්නහු විසින්) යයි යමක් කියනලද්දේ ද, මෙහි වනාහි ආචාර්යයන් සමග එක් විහාරයෙක්හි වෙසෙන යමකුහට එම විහාරය පහසුනම්, ඔහු විසින් එහිම කමටහන් පිරිසුදු කෙරෙමින් විසිය යුතුය. ඉදින් එහි පහසු නැත්නම්, ගව්වකින් හෝ අඩයොදුනෙකින් හෝ යොදුනක් පමණ ඔබ්බෙන් හෝ සප්පාය වූ යම් අනෙක් විහාරයක් ඇත්නම්, එහි විසිය යුතුය. මෙසේ වූ කල්හි කමටහන්හි කිසියම් හෝ තැනෙක සැකයක් හෝ මතක නොවීමක් වුවහොත්, වේලාසනින්ම විහාරයෙහි වත්පිළිවෙත් අවසන්කොට අතරමඟදී පිඬු පිණිස හැසිර බත්කිස අවසන් කළ කෙණෙහිම ආචාර්යයන් වසන තැනට ගොස් එදින ආචාර්යයන් සමීපයෙහි කමටහන් පිරිසුදු කොටගෙන, දෙවන දවස්හි ආචාර්යයන් වැඳ නික්ම අතරමඟදී පිඬු පිණිස හැසිර විඩා නැතිවම තමා වසන තැනට ආහැකි වේ. යමෙක් වනාහි යොදුනක් පමණ තන්හි හෝ පහසු තැනක් නොලබන්නේ නම්, ඔහු විසින් කමටහන්හි සියලු ගැටලු තැන් පැහැදිලි කොටගෙන ඉතා නිරවුල් ලෙස කමටහන් සිහි තබාගෙන දුරබැහැරකට හෝ ගොස් සමාධිභාවනාවට අනුරූප නොවූ විහාරය හැර අනුරූප වූ විහාරයෙක්හි වැසියයුතුය.
අනනුරූපවිහාරො
එහි අනුරූප නොවූ විහාරය නම් අටළොස් දොස් අතුරෙන් එක්තරා හෝ දොසෙකින් යුත් විහාරයයි. එම අටළොස් දොස් නම්: මහත් බවය, අලුත් බවය, දිරාපත් බවය, මඟ අසලවූ බවය, පැන් පොකුණු සහිත බවය, පලා ඇති බවය, මල් ඇති බවය, පලතුරු ඇති බවය, පැතියයුතු බවය, නගරාශ්‍රිත වූ බවය, දැව ඇති තැන් අසල්වූ බවය, කෙත් අසල්වූ බවය, විෂම ක්‍රියාකලාපය ඇති තැනැත්තන් ඇති බවය, පටුන් ආශ්රිත බවය, පිටුසර වූ බවය, රාජ්‍ය සීමා අසල් වූ බවය, සප්පාය නොවූ බවය, කලණ මිතුරන් නොලබන බවය යන මේය. මේ අටළොස් දොස් අතුරෙන් එක් දොසෙකින් හෝ යුතුවූයේ අනනුරූප නම්වේ. එවන් තැනෙක නොවිසිය යුතුය,
කවර හෙයින්දයත්, මහත්වූ විහාරයෙහි නොයෙක් අදහස් ඇති බොහෝ දෙනා රැස්වෙති; ඔවුහු එකිනෙකා අතර ඇති විරුදුකම් නිසා වත්පිළිවෙත් නොකෙරෙති, බෝමලු ආදි නොහමදනා ලදුවම තිබේ. බොන පැන් නහන පැන් නොඑළවන ලද්දේම වේ, එහි මේ යෝගී තෙමේ ‘ගොදුරුගම්හි පිඬු පිණිස හැසිරෙමි’යි පාසිවුරු ගෙන නික්මෙනවිට වත්-පිළිවෙත් නොකරන ලද බව හෝ හිස්වූ පැන් බඳුන් හෝ දක්නේද, එවිට මොහු විසින් වත්-පිළිවෙත් කළයුතු වන්නේය, පැන් එළවියයුතු වන්නේය. එසේ නොකළහොත් වත් බීදීමෙන් දුකුළා ඇවතට පැමිණෙන්නේය, කළහොත් කල් ඉකුත් වන්නේය, ඉතා දහවල් ගමට පිවිසියේ භික්ෂා නිමවී කිසිවක් නොලබන්නේය, විවේක පිණිස ගිය කල්හිද සාමණේර තරුණ භික්ෂූන්ගේ උස්හඬින්ද, සංඝකර්මයෙන්ද වික්ෂේපයට පැමිණේ, යම් තැනෙක සියලු වත්-පිළිවෙත් කරන ලද්දේ වේනම්, සෙසු ගැහැටද නැත්නම්, මහත් වුවද එබඳු විහාරයෙක විසීම සුදුසුය.
අලුත් විහාරයෙක්හි බොහෝ නවකම් ඇත්තේ වේ, ඒවා නොකරන්නහුට බැණ වදිති, යම් විහාරයෙක්හි වනාහි භික්ෂූහු, ආයුෂ්මත්හු සුවසේ මහණදම් පුරත්වා! අපි නවකම් කරන්නමෝය’යි කියන්නාහුද, එවන් විහාරයෙක්හි විසීම සුදුසුය.
දිරාපත් විහාරයෙහි වනාහි පිළිදැගුම් කළ යුතු බොහෝ දේ ඇත, යටත් පිරිසෙයින් තමාගේ සෙනස්න නොපිළිදගින්නහුට අවඥා කෙරෙති, පිළිදගින්නහුගේ කමටහන් පිරිහේ.
මඟ අසල වූ, මහවත් අසල්වූ විහාරයෙක්හි රෑදාවල් ආගන්තුකයෝ රැස්වන්නාහ. නොකල්හි ආවුන්හට තමාගේ සෙනස්න දී රුක්මුලෙක හෝ ගල්තලාවෙක විසිය යුතුවේ. දෙවන දවස්හිද මෙසේ වෙතොත් කමටහනට අවසර නොලැබේ. යම් තැනෙක්හි වනාහි ආගන්තුකයන් නිසා සිදුවන මෙබඳු සම්බාධ නැතොත් එතන්හි විසීම සුදුසුය.
යම් විහාරයෙක්හි ‘කෙම්’ යන නමින් හැඳින්වෙන ගල් පොකුණු ඇත්නම්, එහි පැන් පිණිස මහජනයා රැස්වෙති, රජගෙදර හා සමඟ කුලුපගවූ නගරවැසි මහතෙරවරුන්ගේ අතවැස්සෝ සිවුරු පඬු ගැන්වීම පිණිස පැමිණෙති, බඳුන්, දර, පඬුඔරු ආදිය ගැන විමසන ඔවුන්හට අසුවල් අසුවල් තැනයයි පෙන්විය යුතුය, මෙසේ මුළු කාලයම නිරතුරු යෙදෙන්නට සිදුවේ.