අනනුරූපවිහාරො
එහි අනුරූප නොවූ විහාරය නම් අටළොස් දොස් අතුරෙන් එක්තරා හෝ දොසෙකින් යුත් විහාරයයි. එම අටළොස් දොස් නම්: මහත් බවය, අලුත් බවය, දිරාපත් බවය, මඟ අසලවූ බවය, පැන් පොකුණු සහිත බවය, පලා ඇති බවය, මල් ඇති බවය, පලතුරු ඇති බවය, පැතියයුතු බවය, නගරාශ්‍රිත වූ බවය, දැව ඇති තැන් අසල්වූ බවය, කෙත් අසල්වූ බවය, විෂම ක්‍රියාකලාපය ඇති තැනැත්තන් ඇති බවය, පටුන් ආශ්රිත බවය, පිටුසර වූ බවය, රාජ්‍ය සීමා අසල් වූ බවය, සප්පාය නොවූ බවය, කලණ මිතුරන් නොලබන බවය යන මේය. මේ අටළොස් දොස් අතුරෙන් එක් දොසෙකින් හෝ යුතුවූයේ අනනුරූප නම්වේ. එවන් තැනෙක නොවිසිය යුතුය,
කවර හෙයින්දයත්, මහත්වූ විහාරයෙහි නොයෙක් අදහස් ඇති බොහෝ දෙනා රැස්වෙති; ඔවුහු එකිනෙකා අතර ඇති විරුදුකම් නිසා වත්පිළිවෙත් නොකෙරෙති, බෝමලු ආදි නොහමදනා ලදුවම තිබේ. බොන පැන් නහන පැන් නොඑළවන ලද්දේම වේ, එහි මේ යෝගී තෙමේ ‘ගොදුරුගම්හි පිඬු පිණිස හැසිරෙමි’යි පාසිවුරු ගෙන නික්මෙනවිට වත්-පිළිවෙත් නොකරන ලද බව හෝ හිස්වූ පැන් බඳුන් හෝ දක්නේද, එවිට මොහු විසින් වත්-පිළිවෙත් කළයුතු වන්නේය, පැන් එළවියයුතු වන්නේය. එසේ නොකළහොත් වත් බීදීමෙන් දුකුළා ඇවතට පැමිණෙන්නේය, කළහොත් කල් ඉකුත් වන්නේය, ඉතා දහවල් ගමට පිවිසියේ භික්ෂා නිමවී කිසිවක් නොලබන්නේය, විවේක පිණිස ගිය කල්හිද සාමණේර තරුණ භික්ෂූන්ගේ උස්හඬින්ද, සංඝකර්මයෙන්ද වික්ෂේපයට පැමිණේ, යම් තැනෙක සියලු වත්-පිළිවෙත් කරන ලද්දේ වේනම්, සෙසු ගැහැටද නැත්නම්, මහත් වුවද එබඳු විහාරයෙක විසීම සුදුසුය.
අලුත් විහාරයෙක්හි බොහෝ නවකම් ඇත්තේ වේ, ඒවා නොකරන්නහුට බැණ වදිති, යම් විහාරයෙක්හි වනාහි භික්ෂූහු, ආයුෂ්මත්හු සුවසේ මහණදම් පුරත්වා! අපි නවකම් කරන්නමෝය’යි කියන්නාහුද, එවන් විහාරයෙක්හි විසීම සුදුසුය.
දිරාපත් විහාරයෙහි වනාහි පිළිදැගුම් කළ යුතු බොහෝ දේ ඇත, යටත් පිරිසෙයින් තමාගේ සෙනස්න නොපිළිදගින්නහුට අවඥා කෙරෙති, පිළිදගින්නහුගේ කමටහන් පිරිහේ.
මඟ අසල වූ, මහවත් අසල්වූ විහාරයෙක්හි රෑදාවල් ආගන්තුකයෝ රැස්වන්නාහ. නොකල්හි ආවුන්හට තමාගේ සෙනස්න දී රුක්මුලෙක හෝ ගල්තලාවෙක විසිය යුතුවේ. දෙවන දවස්හිද මෙසේ වෙතොත් කමටහනට අවසර නොලැබේ. යම් තැනෙක්හි වනාහි ආගන්තුකයන් නිසා සිදුවන මෙබඳු සම්බාධ නැතොත් එතන්හි විසීම සුදුසුය.
යම් විහාරයෙක්හි ‘කෙම්’ යන නමින් හැඳින්වෙන ගල් පොකුණු ඇත්නම්, එහි පැන් පිණිස මහජනයා රැස්වෙති, රජගෙදර හා සමඟ කුලුපගවූ නගරවැසි මහතෙරවරුන්ගේ අතවැස්සෝ සිවුරු පඬු ගැන්වීම පිණිස පැමිණෙති, බඳුන්, දර, පඬුඔරු ආදිය ගැන විමසන ඔවුන්හට අසුවල් අසුවල් තැනයයි පෙන්විය යුතුය, මෙසේ මුළු කාලයම නිරතුරු යෙදෙන්නට සිදුවේ.
යම් විහාරයෙක නොයෙක් ප්‍රකාර ඇති පලාවෙසෙස් ඇත්නම්, එහි කමටහන් ගෙන දිවාවිහාරයෙහි හුන් කල්හි පවා යෝගාවචරයාගේ සමීපයෙහි ගී ගයමින් පලා නෙළන ස්ත්‍රීහු යෝග්‍ය නොවන ශබ්ද පවත්වමින් කමටහනට අන්තරාය කෙරෙති.
යම් විහාරයෙක්හි නොයෙක් ප්‍රකාර ඇති සුපිපි මල්ගස් ඇත්නම්, එහිද එවැනිම වූ උවදුරු ඇත.
යම් විහාරයෙක්හි අඹ දඹ පනා ආදී පලතුරු ඇත්නම්, පල කැමැත්තෝ පැමිණ ඉල්වති, නොදෙන විට කිපෙති, බලාත්කාරයෙන් හෝ ගනිති. සවස් කාලයෙහි විහාරමධ්යයෙහි හමදින විට ඔවුන් දැක ‘උපාසකවරුනි, කවර හෙයකින් මෙසේ කරවුදැ’යි කීකල්හි රිසි සේ ආක්‍රෝශ කෙරෙති. ඒ භික්ෂුව විහාරයෙන් නෙරපීමට පවා උත්සාහ කෙරෙති.
ලෝවැස්සන් විසින් සම්භාවිත වූ දක්ඛිණගිරි, හත්ථිකුච්ඡ, වේතියගිරි, සිතුල්පවු වැනි බොහෝ දෙනා වන්දනා පිණිස පැමිණෙන විහාරයෙක වසන්නහු කරා, මේ රහත් කෙනෙකි’යි සම්භාවනා කොට වඳිනු කැමැති ජනයා සැම දෙසින් රැස් වෙති, එයින් ඔහුට අපහසු වේ. යමකුට එම විහාරය සප්පාය වේනම්, ඔහු විසින් දහවල්හි අන් තැනෙක ගොස් රෑකල එහි විසිය යුතුය.
නුවර අසල වූ විහාරයෙක්හි විෂම වූ අරමුණු හමුවට එයි, කළදැස්සෝ කළ ගටමින් යෙති, ඉවත්ව මඟ ඉඩ නොදෙති, ප්‍රභූ ජනයාද විහාරමධ්යයෙහි තිර වටකොට හිඳිති.
දැව ආශ්රිත විහාරයෙක්හි වනාහි යම් තැනෙක්හි දර හෝ දැව බඩු පිණිස ගනුලබන ගස් ඇත්නම්, එහි දැව ගෙනයන්නෝ යටකී පලා, මල් නෙළන්නවුන් සේම ගැහැට කෙරෙත්. විහාරයෙහි ගස් ඇත්නම්, කපා ගෙවල් ඉදි කරන්නමු’යි අවුත් කපති, ඉදින් සවස් කාලයෙහි පධානඝරයෙන් නික්ම විහාරමධ්යයෙහි සක්මන් කරනවිට ඔවුන් දැක, ‘උපාසකවරුනි, කවර හෙයින් මෙසේ කරවූදැ’යි කිවහොත් රිසි පරිදි ආක්‍රෝශ කෙරෙති. විහාරයෙන් නෙරපීමට හෝ උත්සාහ කෙරෙති.
යම් විහාරයක් කෙත් අසල වූයේද, හාත්පසින් කෙත්වලින් වටවූයේද, එහි විහාර මධ්‍යයෙහිම ජනයා කලවිටි තනා ගොයම් මඩිති, ඉදිරිපස මිදුලෙහි වී දමා වියලවති, තවද බොහෝ අපහසු ඇතිකරවයි. තවද, එබඳු විහාරයෙක මහා සඞ්ඝපරිභෝග ඇත්නම්, එහි ආරාම සේවකයන්ගේ පවුලට අයත් ගවයන් බදිති, දියමුර වලක්වති, මිනිස්සු (මැලවීගිය) වී කරල් කඩා ගෙනවුත් ‘බලනු මැනවි, ඔබ වහන්සේගේ සේවක ජනයාගේ ක්‍රියාය’යි සංඝයාහට දක්වති. ඒ මේ කරුණු නිසා රාජරාජමහාමාත්යයන්ගේ ගෙදොරට යායුතුවේ, මෙයද කෙත් අසල වූ ආරාම විෂයෙහි ඇතුළත් වේ.
විසම (නොගැලපෙන) පුද්ගලයන් ඇති බවය යනු, යම් විහාරයෙක්හි ඔවුනොවුන් නොරුස්සන, ඔවුනොවුනට පසමිතුරු භික්ෂූහු වෙසෙත්ද, ඔවුන් කලහ කරනවිට, ‘ස්වාමීනි, මෙසේ නොකරනු මැනවැ’යි වලක්වන ලද්දාහු ‘මේ පංසුකූලිකයා ආ දා පටන් නටුවෝ වම්හ’යි කියන්නාහුය.