අනුරූපවිහාරො
යම් විහාරයෙක් වනාහි ගොදුරු ගමින් ඉතා දුර නොවූ බවය, ඉතා අසල්ද නොවූ බවය, ආදී අංග පසෙකින් යුක්ත වූයේද, මේ අනුරූප නමි. කියනලදමැයි භාග්යවතුන් වහන්සේ විසින්, ‘මහණෙනි, සෙනස්නෙක් කෙසේ අංග පසෙකින් සමන්විත වේද? මහණෙනි, මෙහි සෙනස්න ඉතා දුර හෝ ඉතා ළං හෝ නොවේනම්, යාම් ඊම් පහසුකම් ඇත්තේනම්, දහවල ජනයා නොගැවසෙත් නම්, මඳවූ ශබ්ද නිර්ඝෝෂ ඇත්තේනම්, මැසිමදුරු-අවු-සුළං-සපුන් යන මේ ආදියෙන් වන උවදුරු අඩුවේ නම්, එහි වෙසෙන්නහුට චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලාන ප්රත්යය භෛසජ්ය පරිෂ්කාරයෝ මඳ ආයාසයෙකින් උපදිත් නම්, එම සෙනස්නෙහි බහුශ්රැත, ආගමධර, ධර්මධර, විනයධර, මාතිකාධර ස්ථවිර භික්ෂූහු වෙසෙත් නම්, ඔවුහු කලින් කල රැස්වී, ස්වාමීනි, මෙය මෙය කෙසේද? මෙහි අරුත් කවරේද?යි පිළිවිසිත් නම්, අර්ත්ථ විචාරත් නම්, එසේ පිළිවිසින්නහුට ඒ ආයුෂ්මත්හු විවෘත නොවූ දෙය විවරණ කෙරෙත් නම්, අප්රකට දෙය ප්රකට කෙරෙත් නම්, අනේකවිධ වූ ශංසය උපදනා ධර්මයන් විෂයෙහි ශංසය දුරු කෙරෙත් නම්, මහණෙනි, මෙසේ වනාහි සෙනස්නෙක් අංග පසින් සමන්විත වේ.
මේ ‘සමාධි භාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහරන්තෙන’ (සමාධි භාවනා පිණිස යෝග්ය නොවූ විහාරය හැර යෝග්ය වූ විහාරයෙක්හි වෙසෙන්නහු විසින්) යන මෙහි විස්තර කථායි.
ඛුද්දකපලිබොධා
ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා (සුලු පලිබෝධ සිඳලීම කොට) යනු, මෙසේ යෝග්ය වූ විහාරයෙක වාසය කරන්නහු විසින්- ඔහුට යම් ඒ සුලු පලිබෝධයක් හෝ ඇත්නම් එයද සිඳලිය යුතුය, එනම්, දික්ව වැඩුණු කෙස්, නිය, ලොම් කපා දැමිය යුතුය, දිරාපත් සිවුරු මැහුම් හෝ ගෙත්තම් කළ යුතුය, කිලිටි සිවුරු සෝදා පඬු පොවාගත යුතුය, පාත්රා මල බැඳී ඇත්නම්, පාත්රය පිසිය යුතුය, ඇඳ පුටු ආදිය පිරිසුදු කරගත යුතුය. මේ ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා (සුලු පලිබෝධයන් ඉවත් කොට) යන මෙහි විස්තර කථායි.
භාවනාවිධානං
ඉක්බිති, සබ්බං භාවනාවිධානං අපරිහාපෙන්තෙන භාවෙතබ්බො (සියලු භාවනා විධි නොපිරිහෙලා භාවනා වැඩිය යුතුය) යනු: මෙහි මේ පඨවි කසිණය ආදිකොට ඇති සියලු කර්මස්ථානයන් පිළිබඳ විස්තර කථා දැක්වේ.
මෙසේ සුලු පලිබෝධයන් විසඳාගත් භික්ෂුව විසින් පිඬු පිණිස හැසිරීමෙන් පෙරළා අවුත් බත්කිස නිමවීමෙන් පසු ඇතිවන බත්මත සන්සිඳවාගෙන, විවේක ස්ථානයෙක සුවසේ හිඳ, සකසනලද හෝ ස්වාභාවික වූ හෝ පෘථිවිය කෙරෙහි නිමිති ගතයුතුය. කියනලද මැයි (අටුවාවෙහි):
පඨවී කසීණය ගන්නා යෝගී තෙමේ සකසනලද හෝ ස්වාභාවික වූ අන්ත සහිත වූ අන්ත රහිතනොවූ, කෙළවර සහිත වූ කෙළවර රහිතනොවූ, වටකුරුවූ නොවටකුරුනොවූ, සීමා සහිත වූ සීමා රහිත නොවූ, කුඩා කුල්ලක් පමණවූ හෝ මලාවක් පමණ වූ පෘථිවි මණ්ඩලයෙහි නිමිති ගනියි. හේ තෙමේ එම නිමිති මනාලෙස ගැනීම කරයි, මනාලෙස උපධාරණය කරයි, මනාලෙස ව්යවස්ථාපනය කරයි, හේ තෙමේ එය මනාලෙස ගෙන, මනාලෙස උපධාරණය කොට, මනාලෙස ව්යවස්ථාපනය කොට, එහි අනුසස් දක්නේ මහඟුලෙස සලකා, ගරුසරු උපදවා, සොම්නස් දනවා, ‘ඒකාන්තයෙන් මේ පිළිවෙත හේතුකොටගෙන ජරාමරණයෙන් මිදෙම්වා’යි එම අරමුණෙහි සිත බැඳ තබයි. හේ තෙමේ කාමයන් කෙරෙන් මිදී, අකුසලයන් කෙරෙන් මිදී ප්රථමධ්යානයට සමවැද වාසය කරයි.’
එහිදී යමකු විසින් පූර්වභවයෙහිදී, බුදු සසුනෙක්හි හෝ සෘෂි ප්රව්රජ්යාවෙන් පැවිදිව හෝ පඨවිකසිණ විෂයෙහි ධ්යාන චතුෂ්කය, නැතහොත් පංචකය උපදවනලද විරූ නම්, එවන් උපනිශ්රය සම්පන්න පිනැත්තහුට අකෘත්රිමවූද, සීසානලද තන්හි හෝ, කලවිටි මඬුල්ලෙහි හෝ නිමිති උපදනේය. මල්ලක තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන්හට වනාහි සීසාන ලද තැනක් දකිනවිට එම තැන් පමණ වූ නිමිති උපදනේය, ඒ තෙරණුවෝ එය වඩා පංචකධ්යනයන් උපදවා ධ්යානය පාදකකොට විදර්ශනා පිහිටුවා රහත්බවට පැමිණියහ.
යමෙක් වනාහි, මෙසේ පෙර පුරුදුකළ අධිකාර නැත්තේ නම්, ඔහු විසින් ආචාර්යයන් වෙතින් උගත් කර්මස්ථානවිධි නොවරදවා, සතර කසිණදොස් දුරුකොට කසිණය තනාගත යුතුය. නිල්වන්, කසාවන්, රත්වන්, සුදුවන් මැටි මුසුවීමෙන් පඨවිකසිණ දොස් සතරෙක් උපදී. එහෙයින් නිල්වන් ආදී මැටි නොගෙන ගංගා ප්රවාහයෙහි මැටි හා සමාන අරුණුවන් මැටියෙන් කසිණය තනාගත යුතුය. එයද විහාරමධ්යයෙහි සාමණේරාදීන් සැරිසරන තන්හි නොතැනිය යුතුය, විහාර භූමියෙහි කෙළවර මුවහවූ තැනෙක පිටතට නෙරා සිටි ගල්කුලක් යට හෝ කොළ මඬුවෙක හෝ ජංගම (තැනින් තැනට ගෙනයාහැකි) ලෙසින් හෝ ස්ථාවර (එම ස්ථානයෙහිම තිරව පවතින) ලෙසින් හෝ කසිණය තනාගත යුතුය. එහි ජංගම කසිණය දඬු සතරෙක රෙදිකඩක් හෝ සම්කඩක් බැඳ ඊ මත්තෙහි තණ මුල් බොරලු වැලි ඉවත්කොට මැනවින් හනාගත් මැටියෙන්, කියනලද තරමින් වටකුරු හැඩයට ආලේපකොට තනාගත යුතුය, එය පිරියම් කරනවිට බිම තබා බැලිය යුතුය. ස්ථාවර කසිණය බිම කණු සිටුවා වැලින් බැඳ පියුම් කෙමියක හැඩයට තනාගත යුතුය. ඉදින් අරුණුවන් මැටි නොසෑහේ නම් ඇතුළත වෙනත් මැට්ටෙකින් සාදා මතුපිට මනාසේ පිරිසුදු කරගත් අරුණුවන් මැටියෙන් එක් වියත් සතරඟුලක් විතරින් වටකුරු කොට තනාගත යුතුය, මෙකී පමණම සලකා කුඩා කුල්ලක් හෝ මලාවක් පමණයැයි යට කියනලදි. ‘සාන්තකෙ නො අනන්තකෙ’ යන ආදිය වනාහි එහි සීමාව දක්වනු පිණිස කියනලදි.