ඛුද්දකපලිබොධා
ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා (සුලු පලිබෝධ සිඳලීම කොට) යනු, මෙසේ යෝග්ය වූ විහාරයෙක වාසය කරන්නහු විසින්- ඔහුට යම් ඒ සුලු පලිබෝධයක් හෝ ඇත්නම් එයද සිඳලිය යුතුය, එනම්, දික්ව වැඩුණු කෙස්, නිය, ලොම් කපා දැමිය යුතුය, දිරාපත් සිවුරු මැහුම් හෝ ගෙත්තම් කළ යුතුය, කිලිටි සිවුරු සෝදා පඬු පොවාගත යුතුය, පාත්රා මල බැඳී ඇත්නම්, පාත්රය පිසිය යුතුය, ඇඳ පුටු ආදිය පිරිසුදු කරගත යුතුය. මේ ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා (සුලු පලිබෝධයන් ඉවත් කොට) යන මෙහි විස්තර කථායි.
භාවනාවිධානං
ඉක්බිති, සබ්බං භාවනාවිධානං අපරිහාපෙන්තෙන භාවෙතබ්බො (සියලු භාවනා විධි නොපිරිහෙලා භාවනා වැඩිය යුතුය) යනු: මෙහි මේ පඨවි කසිණය ආදිකොට ඇති සියලු කර්මස්ථානයන් පිළිබඳ විස්තර කථා දැක්වේ.
මෙසේ සුලු පලිබෝධයන් විසඳාගත් භික්ෂුව විසින් පිඬු පිණිස හැසිරීමෙන් පෙරළා අවුත් බත්කිස නිමවීමෙන් පසු ඇතිවන බත්මත සන්සිඳවාගෙන, විවේක ස්ථානයෙක සුවසේ හිඳ, සකසනලද හෝ ස්වාභාවික වූ හෝ පෘථිවිය කෙරෙහි නිමිති ගතයුතුය. කියනලද මැයි (අටුවාවෙහි):
පඨවී කසීණය ගන්නා යෝගී තෙමේ සකසනලද හෝ ස්වාභාවික වූ අන්ත සහිත වූ අන්ත රහිතනොවූ, කෙළවර සහිත වූ කෙළවර රහිතනොවූ, වටකුරුවූ නොවටකුරුනොවූ, සීමා සහිත වූ සීමා රහිත නොවූ, කුඩා කුල්ලක් පමණවූ හෝ මලාවක් පමණ වූ පෘථිවි මණ්ඩලයෙහි නිමිති ගනියි. හේ තෙමේ එම නිමිති මනාලෙස ගැනීම කරයි, මනාලෙස උපධාරණය කරයි, මනාලෙස ව්යවස්ථාපනය කරයි, හේ තෙමේ එය මනාලෙස ගෙන, මනාලෙස උපධාරණය කොට, මනාලෙස ව්යවස්ථාපනය කොට, එහි අනුසස් දක්නේ මහඟුලෙස සලකා, ගරුසරු උපදවා, සොම්නස් දනවා, ‘ඒකාන්තයෙන් මේ පිළිවෙත හේතුකොටගෙන ජරාමරණයෙන් මිදෙම්වා’යි එම අරමුණෙහි සිත බැඳ තබයි. හේ තෙමේ කාමයන් කෙරෙන් මිදී, අකුසලයන් කෙරෙන් මිදී ප්රථමධ්යානයට සමවැද වාසය කරයි.’
එහිදී යමකු විසින් පූර්වභවයෙහිදී, බුදු සසුනෙක්හි හෝ සෘෂි ප්රව්රජ්යාවෙන් පැවිදිව හෝ පඨවිකසිණ විෂයෙහි ධ්යාන චතුෂ්කය, නැතහොත් පංචකය උපදවනලද විරූ නම්, එවන් උපනිශ්රය සම්පන්න පිනැත්තහුට අකෘත්රිමවූද, සීසානලද තන්හි හෝ, කලවිටි මඬුල්ලෙහි හෝ නිමිති උපදනේය. මල්ලක තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන්හට වනාහි සීසාන ලද තැනක් දකිනවිට එම තැන් පමණ වූ නිමිති උපදනේය, ඒ තෙරණුවෝ එය වඩා පංචකධ්යනයන් උපදවා ධ්යානය පාදකකොට විදර්ශනා පිහිටුවා රහත්බවට පැමිණියහ.
යමෙක් වනාහි, මෙසේ පෙර පුරුදුකළ අධිකාර නැත්තේ නම්, ඔහු විසින් ආචාර්යයන් වෙතින් උගත් කර්මස්ථානවිධි නොවරදවා, සතර කසිණදොස් දුරුකොට කසිණය තනාගත යුතුය. නිල්වන්, කසාවන්, රත්වන්, සුදුවන් මැටි මුසුවීමෙන් පඨවිකසිණ දොස් සතරෙක් උපදී. එහෙයින් නිල්වන් ආදී මැටි නොගෙන ගංගා ප්රවාහයෙහි මැටි හා සමාන අරුණුවන් මැටියෙන් කසිණය තනාගත යුතුය. එයද විහාරමධ්යයෙහි සාමණේරාදීන් සැරිසරන තන්හි නොතැනිය යුතුය, විහාර භූමියෙහි කෙළවර මුවහවූ තැනෙක පිටතට නෙරා සිටි ගල්කුලක් යට හෝ කොළ මඬුවෙක හෝ ජංගම (තැනින් තැනට ගෙනයාහැකි) ලෙසින් හෝ ස්ථාවර (එම ස්ථානයෙහිම තිරව පවතින) ලෙසින් හෝ කසිණය තනාගත යුතුය. එහි ජංගම කසිණය දඬු සතරෙක රෙදිකඩක් හෝ සම්කඩක් බැඳ ඊ මත්තෙහි තණ මුල් බොරලු වැලි ඉවත්කොට මැනවින් හනාගත් මැටියෙන්, කියනලද තරමින් වටකුරු හැඩයට ආලේපකොට තනාගත යුතුය, එය පිරියම් කරනවිට බිම තබා බැලිය යුතුය. ස්ථාවර කසිණය බිම කණු සිටුවා වැලින් බැඳ පියුම් කෙමියක හැඩයට තනාගත යුතුය. ඉදින් අරුණුවන් මැටි නොසෑහේ නම් ඇතුළත වෙනත් මැට්ටෙකින් සාදා මතුපිට මනාසේ පිරිසුදු කරගත් අරුණුවන් මැටියෙන් එක් වියත් සතරඟුලක් විතරින් වටකුරු කොට තනාගත යුතුය, මෙකී පමණම සලකා කුඩා කුල්ලක් හෝ මලාවක් පමණයැයි යට කියනලදි. ‘සාන්තකෙ නො අනන්තකෙ’ යන ආදිය වනාහි එහි සීමාව දක්වනු පිණිස කියනලදි.
එහෙයින් මෙසේ කියනලද පමණ හිම් කොට - දඬු පෙණය (තැළීමට යොදාගනු ලබන උපකරණයක්) විෂම වර්ණ ඇතිකරන හෙයින් එය නොගෙන ගල් පෙණයකින් තළා බෙර ඇසක් මෙන් මට්ටම් කොට, එම ස්ථානය හැමැඳ, නහාගෙන අවුත් කසිණ මඬුල්ලෙන් රියන් දෙකහමාරක් ඇතුළත පනවනලද එක් වියත් සතරඟුල් පමණ පා ඇති මනාකොට අතුළ පුටුවක හිඳගතයුතුය. එයට වඩා දුරින් හුන්නහුට කසිණය නොවැටහේ, එයට වඩා ළඟින් හුන්නහුට කසිණ දොස් දිස්වේ. එයට වඩා උසින් හුන්විට ගෙල නමා බැලිය යුතුවේ. එයට වඩා මිටි අස්නෙක දුන්විට දණ රිදෙන්නට ගනී, එහෙයින් කියන ලද නයින්ම හිඳ, කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහුය.’ ආදී නයින් කාමයෙහි ආදීනව මෙනෙහිකොට කාමයන් කෙරෙන් දුරුවූ, සියලු දුක් කෙළවර කිරීමෙහි උපාය වූ, නෛෂ්ක්රම්යයෙහි උපන් අභිලාෂ ඇතිව, බුදුන්-දහම් සඟුන් ගුණ සිහිකරමින්, ප්රීති ප්රමෝදය උපදවාගෙන, ‘මේ වනාහි සියලු බුදු පසේබුදු අරියසව්වන් විසින් පිළිපන් ඒ නෛෂ්ක්රම්ය ප්රතිපදාවයි’ යනුවෙන් ප්රතිපත්ති විෂයෙහි උපන් ගෞරව ඇතිව, ‘ඒකාන්තයෙන් මේ ප්රතිපදාව හේතුකොටගෙන ප්රවිවේක සුඛ රසය අනුභව කරන්නෙක් වන්නෙමි’යි උත්සාහ උපදවා, සෙමෙන් ඇස් දල්වා නිමිති ගනිමින් භාවනා කළ යුතුය.
පමණට වඩා ඇස් දල්වන කල ඇස් පෙළෙන්නට ගනී, කසිණ මණ්ඩලයද පමණට වඩා ප්රකාශ වේ, එයින් ඔහුට නිමිති නො-උපදියි, ඉතා මදව ඇස් දල්වන්නහුට මණ්ඩලය ප්රකට නොවේ, සිතද කිඳෙන්නට ගනී, මෙසේද නිමිති නො-උපදී. එහෙයින් කැටපතෙක මුහුණු පිළිබිඹුව බලන්නකු මෙන් සෙමෙන් දල්වා නිමිතිගෙන භාවනා කටයුතුය. හුදෙක් වර්ණය සිතට නොගතයුතුය. හුදෙක් තද බව ආදි ලකුණුද මෙනෙහි නොකටයුතුය, එහෙත් වර්ණය අත් නොහැර පෘථිවියට නිශ්රය වූ වර්ණය ලෙස ගෙන (වර්ණ ලක්ෂණ දෙක වෙන් වෙන්ව නොගෙන) අධික වශයෙන් පෘථිවිය පිළිබඳ ප්රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා මෙනෙහි කළ යුතුය. පඨවි, මහී, මෙදිනී, භූමි, වසුධා, වසුන්ධරා යන ආදී පෘථිවිපර්යාය නාමයන් අතුරෙන් යමක් රිසිවේනම්, යමක් තමාගේ සංඥාවට අනුකූල වේනම්, එය උච්චාරණය කළ යුතුය. එතෙකුදු වුවත් පඨවි යන මේ නාමයම ප්රකට වේ, එහෙයින් ‘පඨවී පඨවී’ යනුවෙන් ප්රකට නාමයම ගෙන භාවනා කිරීම යුතුවේ. විටෙක ඇස් දල්වාද, විටෙක ඇස් පියාගෙනද ආවර්ජන කළයුතුය, යම්තාක් උග්ගහ-නිමිත්ත නො-ඉපැද තිබේ නම්, ඒතාක් සියක් වර හෝ දහසක් වර හෝ එයටත් වැඩි වරක් හෝ මේ නයින්ම භාවනා කටයුතුය.
මෙසේ භාවනා කරන ඔහුට යම් කලෙක ඇස් පියාගෙන ආවර්ජන කරනවිටද ඇස් ඇර සිටිනවිට මෙන් නිමිත්ත හමුබවට එතොත් එකල උග්ගහ - නිමිත්ත උපන්නේ නම් වේ, එය උපන් කල පටන් එතන්හිම හිදියයුතු නොවේ, තමා වෙසෙන තැනට පිවිස එහි හිඳගෙන භාවනා කළ හැකිය. පා දෙවීම සඳහා කල් ගතවීම වලකනු පිණිස මොහු විසින් තනිපටවහන්ද, සැරයටියක්ද පරිභෝග කිරීම සුදුසු වේ. ඉක්බිති ඔහුගේ තරුණ සමාධිය කිසියම් හෝ අසප්පාය කාරණයක් හේතුකොටගෙන නටහොත්, එවිට පාවහන් නැඟ සැරයටිය ගෙන එතැනට ගොස් නිමිති ගෙන පෙරළා අවුත් සුවසේ හිඳගෙන භාවනා කළයුතුය, යලි යලි ආවර්ජන කළ යුතුය, තර්කයෙන් විතර්කයෙන් නතු කරගත යුතුය. මෙසේ කරනවිට ඕහට අනුක්රමයෙන් නීවරණයෝ යටපත් වෙති, ක්ලේශයෝ සන්සිඳෙති, උපචාර සමාධියෙන් සමාධිගත වේ. පටිභාග නිමිත්ත උපදී.