තිවිධකල්යාණං
තිවිධකල්‍යාණං දසලක්‍ඛණසම්පන්නං යනු, මෙහි ආදි, මධ්‍ය පර්යවසාන වශයෙන් ත්‍රිවිධකල්‍යාණතාව වේ. ආදි මධ්‍යපර්යවසානයන්ගේම ලක්‍ෂණ වශයෙන් දශලක්‍ෂණසම්පන්නතාව දතයුතුය.
එම කල්‍යාණ ලක්‍ෂණ විභාවනයෙහි පෙළ මෙසේය:
ප්‍රථම ධ්‍යානයෙහි ප්‍රතිපත්ති විශුද්ධිය ආදියයි, උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයයි, සම්ප්‍රහර්ෂණය (අතිශයින් තෘප්තභාවය) අවසානයයි. ප්‍රථමධ්‍යානය පිළිබඳ ප්‍රතිපත්තිවිශුද්ධිය ආදියයි. ආදියෙහි ලක්‍ෂණ කෙතෙක්ද? ආදියෙහි ලක්‍ෂණ තුනෙකි. ඒ ධ්‍යානයට අන්තරායකර වූ යමක් ඇද්ද එම අන්තරායකර ක්ලේශයන් කෙරෙන් මිදී සිත පිරිසුදු වෙයි, පිරිසිදු වූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පිළිපදියි (පැමිණෙයි), පිළිපන් හෙයින් එම නිමිත්ත තුළ සිත වැද ගනියි, අන්තරායකර ධර්මයන්ගෙන් සිත මිදීමෙන් පිරිසුදු වෙතැ’යි යන යමක් ඇත්ද, පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්ත කරා පැමිණෙතැ’යි යන යමක් ඇද්ද, පිළිපන් හෙයින් එහි සිත වැදගනිතැ’යි යන යමක් ඇද්දැ’යි, යන මේ ප්‍රථම ධ්‍යානයෙහි පටිපදා විසුද්ධිය ආදියයි. ආදියෙහි මෙකී ලක්‍ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය ආදි කල්‍යාණද ලක්‍ෂණසම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
‘ප්‍රථම ධ්‍යානයෙහි උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයයි. මධ්‍යයෙහි ලක්‍ෂණ කෙතෙක්ද? මධ්‍යයෙහි ලක්‍ෂණ තුනෙකි, පිරිසුදුවූ සිත පිළිබඳව උපෙක්‍ෂා කෙරේ, සමථයට වැදගැනීම පිළිබඳවද උපෙක්‍ෂා කෙරේ, එකඟබවට එළඹීම පිළිබඳවද උපෙක්‍ෂා කෙරේ. පිරිසුදුවූ සිත ගැන උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, සමථයට පිවිසීම පිළිබඳව උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, එකඟබවට එළඹීම ගැන උපෙක්‍ෂා කෙරෙතැ’යි යන යමක් ඇද්ද, ප්‍රථමධ්‍යානයෙහි මේ උපෙක්‍ෂා වර්ධනය මධ්‍යයට අයත්වේ, මධ්‍යයෙහි මෙකී ලක්‍ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය මධ්‍යයෙහි කල්‍යණද, ත්‍රිලක්‍ෂණ සම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
ප්‍රථමධ්‍යානය පිළිබඳ සම්ප්‍රහර්ෂණය පර්යවසානයයි, පර්යවසානයෙහි ලක්‍ෂණ කෙතෙක්ද? පර්යවසානයෙහි ලක්‍ෂණ සතරෙකි, එහි උපන් (සමාධි ප්‍රඥා යන) ධර්මයන්ගේ ඉක්මවීමක් නොමැති හෙයින් සම්ප්‍රහර්ෂණය වේ, (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් (විමුක්ති රසයෙන්) ඒකරස වන හෙයින් සම්ප්‍රහර්ෂණය වේ, මෙකී අනති වර්තන (නොඉක්මවීම) ය, ඒකරසය යන දෙකට අනුරූප වූ වීර්යය ගෙනදෙන හෙයින් සම්ප්‍රහර්ෂණය වේ. නැවත නැවත ආසේවනය කිරීමේ අර්ත්‍ථයෙන් සම්ප්‍රහර්ෂණය වේ. ප්‍රථම ධ්‍යානයෙහි සම්ප්‍රහර්ෂණය පර්යවසානයයි, එම පර්යවසානයෙහි මෙකී ලක්‍ෂණ සතර විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථම ධ්‍යානය පර්යවසානකල්‍යාණද, යථොක්ත ලක්‍ෂණ සතරින්ද යුක්ත වෙතැ’යි කියනු ලැබේ’
එහි පටිපදාවිසුද්ධි (ප්‍රතිපත්ති විශුද්ධි) නමි ආවර්ජන පරිකර්ම සහිත වූ උපචාරයයි. උපෙක්‍ඛානුබ්‍රෑහනා (උපේක්‍ෂා වර්ධනය) නම් අර්පණායි. සම්පහංසන (සම්ප්‍රහර්ෂණ) නම් ප්‍රත්‍යවෙක්‍ෂණයයි යනුවෙන් ඇතැමෙක් (අභයගිරිවාසීහු) විස්තර කෙරෙති. යම් හෙයකින් වනාහි ඒකාග්‍රතාවට පැමිණි සිත පටිපදාවිසුද්ධියට පිළිපන්නේ, උපෙක්‍ෂාවෙන් වැඩුණේ, නුවණින්ද විශෝධිත වූයේයයි’ පෙළෙහි කියන ලද්දේ ද, එහෙයින් අර්පණාව ඇතුළතම ආගමන හේතුවෙන් පටිපදාවිසුද්ධිය වන්නේය, එහි (මධ්‍යස්ථතා සංඛ්‍යාත) උපෙක්‍ෂාකෘත්‍ය වශයෙන් උපෙක්ඛානුබ්‍රෑහණය (උපෙක්‍ෂා වර්ධනය) වන්නේය, ධර්මයන් එකිනෙක නොඉක්මවීම ස්වභාවය සිද්ධ කරන හෙයින් පරියොදපන (පිරිසුදු කරන) ඥානයෙහි කෘත්‍යනිෂ්පත්ති වශයෙන් සම්ප්‍රහර්ෂණය වෙතැ’යි දතයුතුය.
කෙසේද යත්, යම් අර්පණා වාරයෙක්හි අර්පණා උපදී ද, එවිට නීවරණ සංඛ්‍යාත වූ ධ්‍යානයට හානිකර වූ යම් ක්ලේශ සමූහයක් වේද, එම ක්ලේශයන් කෙරෙන් සිත පිරිසුදුබවට යන්නේය. එසේ පිරිසිදු වූ හෙයින් ආවරණ විරහිත බවට පත්ව මධ්‍යම සමථ නිමිත්තට පිළිපදනේය, මධ්‍යම සමථ නිමිත්ත නම් සමව පවත්වනලද අර්පණා සමාධියමැයි. අනතුරුව එන පූර්ව චිත්තය (ගෝත්‍රභූචිත්තය) එකසන්තතිපරිණාම නයින් (එක්ම චිත්ත පරම්පරාවෙහි වෙනස්වීම් වශයෙන්) එම අර්පණා සමාධි බවට එළඹෙන්නේ මධ්‍යම සමථ නිමිත්තට පිළිපන්නේ නම් වේ. මෙසේ පිළිපන් හෙයින් අර්පණා සමාධියට පැමිණියේ නම් වේ. මෙසේ (අර්පණා චිත්තයට) පූර්ව වූ (ගෝත්‍රභූ) චිත්තයෙහි විද්‍යාමාන ආකාරයෙන් නිපදවන්නා වූ, පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානය උපන් කෙණෙහිම පැමිණි සේ දතයුතුය.
මෙසේ පිරිසුදු බවට පත් සිත යලි පිරිසුදු කිරීම අවශ්‍ය නොවන හෙයින් පිරිසුදු කිරීමේ ව්‍යාපාරයක් නොකරන්නේ, එම විශුද්ධ වූ සිත පිළිබඳව උපෙක්‍ෂා (මැදහත්) වන්නේ නම් වේ. ශමථභාවයට පත්වීමෙන් ශමථයට පිළිපන් සිත පිළිබඳව යලි සමාධාන ව්‍යාපාරයක් නොකරන්නේ ශමථයට පිළිපන් සිත පිළිබඳව උපෙක්‍ෂා වන්නේ නම් වේ. ශමථයට පිළිපන් බැවින්ම ක්ලේශයන් හා බැදීමක් නැති බැවින් හුදකලාව පිහිටි සිත යලි එකඟ බවට පත් කිරීමේ ව්‍යාපාරයක් නොකරන්නේ එකත්‍වයෙහි පිහිටුවීම පිළිබඳව උපෙක්‍ෂා වන්නේ නම් වේ. මෙසේ එහිලා මැදහත්වීමේ කෘත්‍ය වශයෙන් උපෙක්‍ෂා වර්ධනය දතයුතුය.
මෙසේ උපේක්‍ෂා වර්ධනය වූ ඒ සමාධිචිත්තයෙහි උපන් සමාධිය ප්‍රඥා යන එකිනෙක බැදුණු යම් මේ ධර්ම කෙනෙක් එකිනෙකා නොඉක්මවා සමව පවත්වන ලද්දාහුද, තවද ශ්‍රද්ධාදී යම් ඉන්‍ද්‍රිය කෙනෙක් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින්, හුදෙක් විමුක්ති රසයෙන් යුතුව පවත්වන ලද්දාහුද, යම්සේ මේ යෝගී තෙමේ ඒ අනතිවත්තන (එකිනෙක නො-ඉක්මවන) එකරසභාවයට අනුරූපව එම ධ්‍යානය පිණිස වීර්යය පවත්වන්නේද, මෙම ධ්‍යානචිත්තයෙහි එම චිත්තක්‍ෂණයෙහි පවත්වනලද යම් ආසෙවනයක් වන්නේද, (එකිනෙක නො-ඉක්මවීම් ආදී) ඒ සියලු ආකාරයෝ, යම් හෙයකින් සංකිලෙස (අපිරිසුදුවීම) හා වොදානයන් (පිරිසුදුවීම) කෙරෙහි ඒ ඒ ආදීනවයන්ද ආනිසංසයන්ද ව්‍යවහාර ඥානයෙන් දැක ඒ ඒ ලෙසින් සම්ප්‍රහර්ෂිත වන බැවින්, පිරිසුදු කරන ලද බැවින්, නිපදවන ලද්දාහුය, එහෙයින් ධර්මයන් එකිනෙක නො-ඉක්මවීම් ස්වභාවය සිද්ධකරන හෙයින් පරියොදපන (පිරිසුදු කරන) ඥානයෙහි කෘත්‍යනිෂ්පත්ති වශයෙන් සම්ප්‍රහර්ෂණය වෙතැ’යි කියනලදි.
එහි යම් හෙයකින් උපේක්‍ෂා වශයෙන් ඥානය ප්‍රකට වේද, කියන ලදමැයි: එසේ (භාවනා වශයෙන්) ගන්නාලද සිත මනාකොට සමාධි වීර්ය යන දෙකෙහි උපේක්‍ෂා වශයෙන් වැදගත් වේ. ප්‍රඥා වශයෙන් පඤ්ඤින්‍ද්‍රියය අතිමාත්‍ර වේ, උපෙක්‍ෂා වශයෙන් නානාස්වභාව ඇති ක්ලේශයන්ගෙන් (අර්පණා) සිත විමොක්‍ෂ වශයෙන් මිදේ, ප්‍රඥා වශයෙන් පඤ්ඤින්‍ද්‍රියය අතිමාත්‍ර වේ, ක්ලේශයන් කෙරෙන් විමුක්ත වූ හෙයින් (ශ්‍රද්ධාදී) ඒ ධර්මයෝ එක්ම කෘත්‍ය ඇත්තාහු වෙති, ඒකකෘත්‍ය වූ හෙයින් භාවනා වෙති’ එහෙයින් ඥානකෘත්‍ය වූ සම්ප්‍රහර්ෂණය පර්යවසානයයි කියනලදි.