චිරට්ඨිතිසම්පාදනං
මෙසේ මේ ධ්යානය ලද කල්හි ඒ යෝගාවචරයා විසින් වාලවෙධියකු විසින් මෙන්ද අරක්කැමියකු ලෙසින් මෙන්ද, ආකාරයන් සැලකිය යුතුය. යම්සේ අතිදක්ෂ වූ දුනුවායෙක් අස්ලොමක් විදීමට ප්රයත්න කරනුයේ යම් විටෙක එම අස්ලොම විදීද, එවිට මෙසේ සිටි මා විසින් මෙසේ දුනු දණ්ඩද, මෙසේ දුනුදියද, මෙසේ හීයද ගෙන ලෝමය විදින ලදැ’යි තමා විසින් තබන ලද පාදයෙහිද, දුනුදණ්ඩෙහිද, දුනුදියෙහිද, හීයෙහිද ආකාරය සලකන්නේ එතැන් පටන් එම ආකාරයන් එලෙසින්ම සම්පාදනය කරමින් නොවරද්දා අස්ලොම් දෙපලු කොට විදින්නේද, මෙසේම යෝගාවචරයා විසින්ද, මෙනම් ආහාරයක් වළඳා, මෙවැනි පුද්ගලයකුගේ ඇසුරෙහි සිට, මෙවන් සෙනස්නෙක, මෙනම් ඉරියව්වෙන්, මෙනම් වේලාවෙක, මෙය ලබන ලදැ’යි යනුවෙන් මෙම භෝජන සප්පාය ආදී ආකාරයන් සැලකිය යුතුය. මෙසේ හේ තෙමේ එම ධ්යානය නට කල්හි වුවද එම ආකාරයන් සැලකීමෙන් යලි උපදවන්නටද, නොපුහුණු ධ්යානය පුහුණු කරමින් යලි යලිදු අර්පණා ලබන්නටද සමත් වන්නේය.
(තවද) යම්සේ දක්ෂ වූ අරක්කැමියෙක් ස්වාමියා වළඳවමින් යම් යම් දෙයක් වළඳන්නේ නම්, ඒ ඒ දෙය සලකා එතැන් පටන් එවැනි දෙයක්ම එළවමින් ප්රසාද ලබන්නේ වේද, එසේම මේ යෝගාවචර තෙමේද අධිගතකාලයෙහි භෝජන ආදී ආකාරයන් සලකාගෙන මෙකී ආකාරයන් සම්පාදනය කරමින් යලි යලිදු අර්පණා ලබන්නේ වේ. එහෙයින් යෝගාවචරයා විසින් වාලවෙඨි ධනුර්ධරයකු සෙයින්ද, අරක්කැමියකු සෙයින්ද ආකාරයන් සැලකිය යුතුය. කියන ලදමැයි භාග්යවතුන් වහන්සේ විසින්:-
‘මහණෙනි, යම්සේ පණ්ඩිත වූ, ව්යක්ත වූ, දක්ෂ වූ, අරක්කැමියෙක් රජුන්හට හෝ රජමහඇමතියන්හට හෝ උසස්තම ඇඹුල් රසින්ද, උසස්තම තිත්ත රසින්ද, උසස්තම කුළු රසින්ද, උසස්තම මිහිරි රසින්ද, කටුසර වූ හා නොවූ රසින්ද, ලුණු සහිත වූ හා නොවූ රසින්ද යන මේ නොයෙක් ආකාර ඇති නොයෙක් අගරස ඇති සූපයන්ගෙන් උපස්ථාන කරන්නේ වේද, මහණෙනි, එම පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ අරක්කැමි තෙමේ තම ස්වාමියාගේ නිමිති උගනියි. අද මාගේ ස්වාමියාට මේ සූපය රිසි වෙයි, මෙයට මනාප වෙයි, මෙය වැඩිපුර ගනියි, මෙය වර්ණනා කරයි, ඇඹුල් අගරස සූපය හෝ අද මාගේ ස්වාමියාහට රුචිවෙයි. ඇඹුල් අගරසයට මනාප වෙයි, ඇඹුල් අගරසය වැඩිපුර ගනියි, ඇඹුල් අගරසය වර්ණනා කරයි-පෙ-ලුණු සහිත නොවූ සූපය හෝ වර්ණනා කරයි, යන ආදී වශයෙන් දැන ගනියි. මහණෙනි, ඒ පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ අරක්කැමි තෙමේ වස්ත්ර ලබන්නෙක්ද වේ, වැටුප් ලබන්නෙක්ද වේ, ප්රසාද ලබන්නෙක්ද වේ, එයට හේතු කිම? ඒ එසේමැයි, මහණෙනි පණ්ඩිතවූ ව්යක්ත වූ දක්ෂ වූ, ඒ අරක්කැමි තෙමේ ස්වකීය ස්වාමියාගේ රුචිය උගනියි, මහණෙනි, එසේම මේ ශාසනයෙහි පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ භික්ෂු තෙමේ කාය විෂයෙහි කය අනුව බලමින්-පෙ-වෙදනා විෂයෙහි-පෙ-චිත්ත විෂයෙහි-පෙ-ධම්ම විෂයෙහි ධම්මයන් අනුව බලමින්, කෙලෙස් තවමින්, ඥානයෙන් යුක්තව, මනා සිහියෙන් යුක්තව, ලෝකයෙහි අභිධ්යා දෞර්මනස්යයන් දුරුකොට විහරණය කරයි. ධර්මයන් විෂයෙහි ධර්මයන් අනුව බලමින් වෙසෙන ඔහුගේ සිත සමාහිත වෙයි, උපක්ලේශයෝ ප්රහීණ වෙති. ඒ භික්ෂු තෙමේ ඒ සමාධි නිමිත්ත උගනියි, මහණෙනි, පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ ඒ භික්ෂු තෙමේ මෙලොව (දෘෂ්ටධර්ම) සුඛවිහරණයද ලබන්නෙක් වේ, සතිසම්පජඤ්ඤයද ලබන්නෙක් වේ, එයට හේතු කිම? ඒ එසේමැයි, මහණෙනි පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ ඒ භික්ෂු තෙමේ ස්වකීය චිත්තස්වභාවයෙහි නිමිත්ත උගනියි’
නිමිත්ත ග්රහණයෙන්ද යලි එම ආකාරයන් සම්පාදනය කරන මේ යෝගාවචරයාහට හුදෙක් අර්පණා මාත්රයම සිද්ධවනු මිස එහි චිරස්ථිතිය සිද්ධ නොවේ. චිරස්ථිතිය වනාහි සමාධියට උපද්රවකර නීවරණ ධර්මයන් මනාකොට පිරිසුදු කිරීමෙන්ම සිද්ධ වේ. යම් ශ්රමණයෙක් තෙමේ කාමයන්ගේ ආදීනව ප්රත්යවෙක්ෂණා ආදියෙන් කාමච්ඡන්දය මනාකොට යටපත් නොකොට, කායපස්සද්ධි වශයෙන් කායපීඩාව මනාකොට නොසන්සිඳුවා, ආරම්භධාතු මනසිකාරාදි වශයෙන් (පටන්ගැනීමේ වීර්යය මෙනෙහි කිරීම් වශයෙන්) ථීනමිද්ධය මනාකොට දුරු නොකොට, සමථනිමිත්ත මෙනෙහි කිරීම් ආදී වශයෙන් උද්ධච්ච-කුක්කුච්චය මනාකොට නොනසා, අන්යවූද සමාධියට උපද්රවකර ස්වභාවයන් මනාකොට ශෝධනය නොකොට ධ්යානයට සමවදීද, හේ තෙමේ අපිරිසුදු බිලකට පිවිසි බඹරකු මෙන්ද පිරිසුදු නොකළ උයනකට පිවිසි රජකු මෙන්ද වහා ධ්යානයෙන් නික්මේ. යමෙක් වනාහි සමාධියට අන්තරායකර නීවරණ ධර්මයන් මැනවින් පිරිසුදුකොට ධ්යානයට සමවදීද, හේ තෙමේ මොනවට පිරිසුදු කළ බිලකට පිවිසි බඹරකු සෙයින්ද, මොනවට පිරිසුදු කළ උයනකට පිවිසි රජකු සෙයින්ද, මුළු දහවලම සමවත තුළම රැඳේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
කාමෙසු ඡන්දං පටිඝං විනොදයෙ
උද්ධච්චමිද්ධං විචිකිච්ඡපඤ්චමං
විවෙකපාමොජ්ජකරෙන චෙතසා
රාජාව සුද්ධන්තගතො තහිං රමෙ
උද්ධච්චමිද්ධං විචිකිච්ඡපඤ්චමං
විවෙකපාමොජ්ජකරෙන චෙතසා
රාජාව සුද්ධන්තගතො තහිං රමෙ
කාමච්ඡන්දයද, ව්යාපාදයද, උද්ධච්චකුක්කුච්චයද, ථිනමිද්ධයද, පස්වැනි වූ විචිකිච්ඡාවද දුරුකරන්නේය. විවේකයෙන් උපන් ප්රමෝදය ඇති කරන සිතින් යුක්තව පිරිසුදු සීමා ඇති උයනකට ගිය රජකු මෙන් එම අර්පණා ධ්යානයෙහි ඇලෙන්නේය.
එහෙයින් ධ්යානයෙහි චිරස්ථිතිය පතන යෝගාවචරයා විසින් උපද්රවකර නීවරණ ධර්මයන් විනෝදනය කොට ධ්යානයට සමවැදිය යුතුය, සමාධිභාවනා මහත්වය පිණිස (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පටිභාග නිමිත්ත වැඩිය යුතුය. ඒ පටිභාග නිමිත්ත වඩනා බිම් දෙකෙකි: උපචාර හෝ අර්පණා හෝ වශයෙනි. උපචාරයට පැමිණීමෙන් පසු පවා එය වඩනු වටී. අර්පණාවට පැමිණීමෙන් පසුද වඩනු වටී. එහෙත් වැඩීම කළ යුත්තේ අවශ්යයෙන්ම බිම් දෙකින් එකකදීය. එහෙයින් (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පරිදි පටිභාගනිමිත්ත වැඩිය යුතුයයි කියනලදි.
නිමිත්තවඩ්ඪනනයො
එය වඩනා ක්රමය මෙසේයි:- යෝගාවචරයා විසින් එම නිමිත්ත (මැටි) බඳුනක් වඩවන නියායෙන් හෝ පූවක් වඩවන නියායෙන් හෝ බත් වඩවන නියායෙන් හෝ වැලක් වඩවන නියායෙන් හෝ පිළීවඩන නියායෙන් හෝ (පිරිසිඳීමක් නැතිව) නොවඩා, යම්සේ ගොවියෙක් සීසෑයුතු බිම්සීමාව නඟුලින් කලින් පිරිසිඳ එම සීමාව ඇතුළත සීසාද යම්සේ සීමා බඳින භික්ෂූහු පළමුකොට නිමිති සලකා පසුව සීමා බඳිත්ද, එසේම (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පරිදි එම නිමිත්ත අනුක්රමයෙන් එක් අඟුල්, දෑඟුල් තෙඅඟුල්, සිවු අඟුල් පමණ තැන් සිතින් පිරිසිඳිමින් පරිච්ඡේද (කොටස්) වශයෙන් ගෙන වැඩියයුතුය, නොපිරිසිඳ නොවැඩියයුතුය. ඉක්බිත්තෙන් වියතක් පමණය, රියනක් පමණය, ඉදිරිපස ගෙමිදුලය, පිරිවෙණය, විහාරය යන මේවායෙහි සීමා වශයෙන්ද, ඉක්බිති, ගමය, නියම්ගමය, දනව්වය, රාජ්යය, සමුද්රය යන මේ ආදී සීමා වශයෙන්ද පිරිසිඳිමින් වඩන්නහු විසින් සක්වළ හෝ එයටත් වැඩි පමණින් පිරිසිඳ වැඩිය යුතුය.