නිමිත්තවඩ්ඪනනයො
එය වඩනා ක්‍රමය මෙසේයි:- යෝගාවචරයා විසින් එම නිමිත්ත (මැටි) බඳුනක් වඩවන නියායෙන් හෝ පූවක් වඩවන නියායෙන් හෝ බත් වඩවන නියායෙන් හෝ වැලක් වඩවන නියායෙන් හෝ පිළීවඩන නියායෙන් හෝ (පිරිසිඳීමක් නැතිව) නොවඩා, යම්සේ ගොවියෙක් සීසෑයුතු බිම්සීමාව නඟුලින් කලින් පිරිසිඳ එම සීමාව ඇතුළත සීසාද යම්සේ සීමා බඳින භික්‍ෂූහු පළමුකොට නිමිති සලකා පසුව සීමා බඳිත්ද, එසේම (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පරිදි එම නිමිත්ත අනුක්‍රමයෙන් එක් අඟුල්, දෑඟුල් තෙඅඟුල්, සිවු අඟුල් පමණ තැන් සිතින් පිරිසිඳිමින් පරිච්ඡේද (කොටස්) වශයෙන් ගෙන වැඩියයුතුය, නොපිරිසිඳ නොවැඩියයුතුය. ඉක්බිත්තෙන් වියතක් පමණය, රියනක් පමණය, ඉදිරිපස ගෙමිදුලය, පිරිවෙණය, විහාරය යන මේවායෙහි සීමා වශයෙන්ද, ඉක්බිති, ගමය, නියම්ගමය, දනව්වය, රාජ්‍යය, සමුද්‍රය යන මේ ආදී සීමා වශයෙන්ද පිරිසිඳිමින් වඩන්නහු විසින් සක්වළ හෝ එයටත් වැඩි පමණින් පිරිසිඳ වැඩිය යුතුය.
යම්සේ හංසපෝතකයෝ පියාපත් හටගත් තැන් පටන් මඳ මඳ පෙදෙසක් පියාඹමින් පුහුණු වී අනුක්‍රමයෙන් සඳහිරු වෙතට පවා යෙත්ද, එසේම භික්‍ෂු තෙමේ කියන ලද ක්‍රමයෙන් නිමිති පිරිසිඳ වඩමින් සක්වළ හෝ එයටත් වැඩියෙන් වඩන්නේය. ඉක්බිති ඔහුට එම නිමිති වැඩූ වැඩූ තන්හි පෘථිවියෙහි ගොඩය, වළය, ගංනිම්නය, පර්වත විෂමය යන මේවා හුල් සියයක් ගසා අදිනලද ගෙරි සමක් සෙයින් සමව දිස්වන්නේය.
එම නිමිත්තෙහි ප්‍රථමධ්‍යානයට පැමිණි නවකයා විසින් සමවැදීම බොහෝ සෙයින් කළයුතුය, ප්‍රත්‍යවෙක්‍ෂණය බොහෝ සෙයින් නොකළ යුතුය. ප්‍රත්‍යවෙක්‍ෂා බහුල වූවහුට වනාහි ධ්‍යානාංගයෝ ඔළාරිකව දුර්වලව වැටහෙති. ඉක්බිති ඔහුට මෙසේ වැටහීමේ හේතුවෙන් එම ධ්‍යානාංගයෝ මතු ධ්‍යානයට නැඟෙනු පිණිස ප්‍රත්‍යය බවට පැමිණෙති. හේ තෙමේ ප්‍රගුණ නොවූ ධ්‍යානයෙහි උත්සාහ කරනුයේ ප්‍රථම ධ්‍යානයෙන්ද පිරිහෙයි, ද්විතීය ධ්‍යානයට පැමිණෙනු නොහැකි වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ,
‘මහණෙනි, යම්සේ සාමාන්‍ය පර්වතයෙක්හි හැසිරෙන නොපුහුණු වූ, අවියත් වූ ගොදුරුබිම් නොහඳුනන්නා වූ, විෂම පර්වතයෙක්හි හැසිරෙන්නට නොදත් යම් ගව දෙනකට, ‘නොගියවිරූ දෙසකට යන්නෙම් නම්, නොකෑවිරූ තණ බුදින්නෙම් නම්. නොපූවිරූ පැන් බොන්නෙම් නම්, යෙහෙකැ’යි යන මෙවන් අදහසෙක් වේද, ඒ දෙන් තොමෝ ඉදිරි පා මනාසේ නොපිහිටුවා පසු පා ඔසවන්නී පෙර නොගියවිරූ දෙසකට හෝ නොයන්නීය, නොකෑවිරූ තණ හෝ නොකන්නීය, නොපූවිරූ පැන් හෝ නොබොන්නීය, යම් පෙදෙසක සිටින ඇයට ‘නොගියවිරූ පෙ-බොන්නෙම් නම් යෙහෙකැ’යි යන අදහස පහළ විණි නම් එම පෙදෙසටද පහසුවෙන් යලි පෙරළා එන්නටද නොහැකි වන්නීය, එයට හේතු කිම? ඒ එසේමැයි මහණෙනි, සාමාන්‍ය පර්වතයෙක්හි හැසිරෙන්නට නොදත්, අවියත්, ගොදුරුබිම් නොහඳුනන ඒ ගවදෙන් තොමෝ විෂම පර්වතයෙක්හි හැසිරෙන්නටද නොහැකි වන්නීය. එසේම මහණෙනි, මේ ශාසනයෙහි යම්කිසි මහණෙක් තෙමේ මඳ නුවණ ඇත්තේ, අවියත්වූයේ, විෂයසීමා පිළිබඳ දැනුමෙන් තොරවූයේ කාමයන්ගෙන් දුරුවී -පෙ- ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නටද නොහැකි වේ, හේ තෙමේ එම නිමිත්ත බොහෝකොට සේවනය නොකරන්නේය, නොවඩන්නේය, බොහෝකොට පුරුදු නොකරන්නේය. නොවඩන්නේය, මනාකොට නොඉටන්නේය. ඔහුට විතක්ක විචාර ව්‍යාපගමනයෙන්-පෙ-ද්විතීය ධ්‍යානයට පැමිණ වසන්නෙම් නම් යෙහෙකැ’යි යන මෙවන් සිතක් පහළ වන්නේය, හේ තෙමේ විතක්ක විචාර ව්‍යපගමනයෙන්-පෙ-ද්විතීය ධ්‍යානයට පැමිණ වසන්නට නොහැකි වේ. ඔහුට කාමයන්ගෙන් තොරව-පෙ-ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නට නොහැකි වේ. මහණෙනි, මෙම ශ්‍රමණයා, දෙපසින්ම නටුයේ, දෙපසින්ම පිරිහුණේයයි කියනු ලැබේ. මහණෙනි, සාමාන්‍ය පර්වතයෙක වෙසෙන මඳ දැනුම් ඇති, අවියත්, ගොදුරුබිම් ගැන නොදත්, ඒ ගවදෙන විෂම පර්වතයෙහි හැසිරෙන්නට නොහැකිවනු මෙනි.