පඤ්චවසීකථා
එය පිළිබඳ මෙකී පඤ්චවිධ ප්‍රාගුණ්‍යය නම්: ආවජ්ජනවසී, සමාපජ්ජනවසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛණවසී යන මේ පස් ආකාරයයි. ප්‍රථමධ්‍යානය රිසි තැනෙක, රිසිවිටෙක, රිසිතාක් කල් ආවර්ජනය කෙරෙතියි, ආවර්ජනයෙහි ලැසි බවෙක් නැතැ’යි ආවර්ජනවසී නමි, ප්‍රථමධ්‍යානය රිසිතැනෙක-පෙ-සමවදිති’යි සමවැදීමෙහි ලැසි බවෙක් නැතැ’යි සමාපජ්ජනවසී නමි. මෙනයින්ම සෙසු වසීන්ද විස්තර කළයුතුය.
මෙහි අරුත් පැවසීම මෙසේයි: ප්‍රථම ධ්‍යානයෙන් නැගී පළමුකොට විතක්කය ආවජ්ජන කරන්නහුට භවංග සිත සිඳගෙන උපන් ආවර්ජනයට අනතුරුව විතක්කයම අරමුණු කොටගත් ජවන් සිත් සතරෙක් හෝ පසෙක් දිවේ, ඉක්බිති භවංග සිත් දෙකක් දිවේ, ඉක්බිති එම දෙවන භවංග සිතට අනතුරුව විචාරය අරමුණු කොටගත් ආවර්ජනය කියනලද නයින්ම වේ. මෙසේ පංච ධ්‍යානාංගයන් කෙරෙහි නිරතුරුව සිත මෙහෙයවන්නට යම්කලෙක සමත් වේනම්, එකල මේ යෝගාවචරයාට ආවජ්ජනවසිය සිද්ධ වූයේ වේ. මස්තකප්‍රාප්ත වූ මේ ආවජ්ජන-වසිය භාග්‍යවතුන් වහන්සේට යමකප්‍රාතිහාර්යයෙහිදී ලැබේ, අන්‍යයන්හටද මෙවැනි අවස්ථාවන්හිදී ලැබේ. මෙකී භාග්‍යවතුන් වහන්සේගේ ආවජ්ජනවසියට වඩා අතිශීඝ්‍ර ආවජ්ජනවසියක් නම් නැත.
ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරුන්ගේ නන්‍දොපනන්‍ද නාගරාජ දමනයෙහිදී මෙන් ශීඝ්‍රයෙන් සමවැදීමට සමත්බව සමාපජ්ජනවසී නමි.
අසුරුසණක් පමණ වූ දස අසුරුසණක් පමණ වූ හෝ කල් සිටුවන්නට සමත්බව අධිට්ඨාන-වසී නමි. එසේම සැහැල්ලු ලෙසින් නැගෙන්නට සමත්බව වුට්ඨාන-වසී නමි. එම අධිට්ඨාන-වසී- වුට්ඨාන වසී යන දෙක දැක්වීමට බුද්ධරක්ඛිත තෙරුන්ගේ කතාපුවත කියනු වටී.
ඒ ආයුෂ්මත්හු වනාහි උපසම්පදාවෙන් අටවස් වූවාහු ථෙරම්බත්ථලයෙහි මහරෝහණගුත්ත තෙරුන්හට ගිලානොපස්ථාන පිණිස ආ තිස්දහසක් පමණ වූ සෘද්ධිමතුන් මැද හුන්නාහු, තෙරුන්හට හුළුකැඳ පිළිගන්වමින් උපස්ථාන කරන නාරජු ගනිමි’යි අහසට පැන නගින ගුරුළුරජු දැක එකෙණෙහි පර්වතයක් මවා, නාරජු අතින් ගෙන එතුළට පිවිසවූහ. ගුරුළුරජ තෙමේ පර්වතයට පහරදී පලා ගියේය. මහ තෙරණුවෝම, ඇවැත්නි, රක්ඛිත තෙරුන් නොසිටින්නට අපි සියල්ලෝම ගැරහිය යුත්තෝ වම්හ’යි කීහ.
පච්චවෙක්ඛණ-වසිය වනාහි ආවජ්ජන-වසීයෙහිම කියනලදි. එහි ආවජ්ජන-වසියට අනතුරුව දිවෙන ජවනයෝ පච්චවෙක්ඛණජවනයෝ මැයි.
දුතියජ්ඣානකථා
මේ පංචවිධ වසීන් කෙරෙහි බොහෝකල් පුරුදු වූවහු විසින් ප්‍රගුණ කරන ලද ප්‍රථමධ්‍යානයෙන් නැඟී, ‘මේ සමාපත්ති තොමෝ නීවරණ නමැති සතුරන්ගෙන් නුදුරුව සිටියාය, විතක්ක විචාරයන් ඔළාරික වූ හෙයින් දුර්වල වූ ධ්‍යානාංග ඇත්තීද වේය’යි එහි දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ප්‍රථම ධ්‍යානය කෙරෙහි වූ රිසිය මැඩගෙන ද්විතීය ධ්‍යානාධිගමය පිණිස භාවනායොග කටයුතුය. ඉක්බිති යම් කලෙක ප්‍රථමධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව, නුවණැතිව, ධ්‍යනාංගයන් ප්‍රත්‍යවෙක්‍ෂා කරන ඒ යෝගාවචරයාහට විතක්ක, විචාර යන දෙක ඔළාරික ලෙසින් වැටහේද, පීති, සුඛ යන දෙකද චිත්තෙකග්ගතාවද ශාන්ත ලෙසින් වැටහේද, එකල එම ඔළාරික වූ ධ්‍යානාංගයන් ප්‍රහීණ කරනු පිණිසද, ශාන්ත වූ ධ්‍යානාංගයන් ලබනු පිණිසද එම නිමිත්තම ‘පඨවී පඨවී’ යනුවෙන් නැවතත් මෙනෙහි කරන ඒ යෝගාවචරයාහට දැන් ද්විතීය ධ්‍යානය උපදනේයයි භවංගසිත සිඳගෙන එම පඨවි කසිණයම අරමුණු කොට මනොද්වාරාවර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සතරෙක් හෝ පසෙක් දිවේ, ඒ ජවන් අතුරෙන් අවසානයෙහිවූ ජවනය රූපාවචර ද්විතීයධ්‍යානයට අයත්වේ, සෙසු ජවන්හු යට කියනලද පරිදි කාමාවචර වේ.
මෙපමණෙකින් මේ යෝගාවචර තෙමේ ‘චිතක්ක විචාරයන් සන්සිදීම හේතුකොටගෙන අධ්‍යාත්මය මැනවින් ප්‍රසාද කරවන චිත්ත සමාධි සංඛ්‍යාත වූ, විතක්ක රහිත වූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් පීතිසුඛ සහිත වූ ද්විතීයධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය’යි කියනලදි. මෙසේ මේ යෝගාවචරයා විසින් අංග දෙකකින් හීන වූ අංග තුනකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණ සහිත වූ දශ ලක්‍ෂණයෙන් යුක්තවූ ද්විතීය ධ්‍යාන සහිත වූ පඨවි කසිණය අවබෝධ කරන ලද්දේ වේ.
එහි විතක්කවිචාරානං වූපසමා යනු: විතක්ක, විචාර යන මේ දෙක සන්සිඳුවීමෙනි, ඉක්මවීමෙනි. ද්විතීයධ්‍යානය ලද කෙණෙහි පටන් මේ දෙක පහළ නොවන බැවිනියි කීසේයි. එම ද්විතීයධ්‍යානයෙහිදී ප්‍රථමධ්‍යාන ස්වභාවයෝ කිසිසේත් විද්‍යමාන නොවෙති, ප්‍රථමධ්‍යානයෙහි ස්පර්ශ ආදිය එකෙකි, මෙම ද්විතීයධ්‍යානයෙහි අනෙකෙකි. ඔළාරික ඔළාරික (ඒ ඒ) අංගය ඉක්මවීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් මතු ද්විතීය ධ්‍යානාදීන්ගේ අධිගමය සිද්ධ වෙතැ’යි දක්වනු පිණිස විතක්කවිචාරානං වුපසමා’යි කියනලදැයි දතයුතුය.
අජ්ඣත්තං යනු, මෙහි ස්වකීය සන්තානය අභිප්‍රේතයි. විභංගයෙහි වනාහි අජ්ඣත්තං පච්චත්තං (අජ්ඣන්තං යනු සන්තානයයි) යන මෙපමණක්ම කියනලදි. යම් හෙයකින් ස්වසන්තානය අභිප්‍රේත වේද, එහෙයින්, ස්වසන්තානයෙහි උපන්, ස්වසන්තානයෙහි හටගත් යනු මෙහි අර්ත්‍ථයි. සම්පසාදනං යනු: ශ්‍රද්ධාව සම්පසාදනයයි කියනු ලැබේ. සම්පසාදනය හා සමග යෙදීමෙන් ධ්‍යානයද සම්පසාදන නම් වේ. නීලවර්ණය හා සමග යෙදීමෙන් වස්ත්‍රයද නීල නම් වන සේය. යම් හෙයකින් එම ධ්‍යානය සම්පසාදනයෙන් සමන්විත වන හෙයින්ද, විතක්ක විචාරයන්ගේ පැළඹීම සන්හුන් හෙයින්ද සිත ප්‍රසාදයට යන්නේද එහෙයින්ද, සම්පසාදනයයි කියනු ලැබේ. මෙම අර්ත්‍ථ විකල්පයෙහි ‘සමපසාදනං චෙතසො’ (සිතෙහි පහන් බව) යි මෙසේ පද යෙදීම දතයුතුය. පළමු කී අර්ත්‍ථ විකල්පයෙහි වනාහි චෙතසො යන මෙය එකොදිභාවං යනු හා සමග යෙදිය යුතුය.
එහි අර්ත්‍ථ යෝජනාව මෙසේය: අසහායව නැඟෙති’යි ‘එකොදි’ නම්, විතක්ක විචාරයන් අධ්‍යාරූඪ නොවූ හෙයින් අග්‍රව, ශ්‍රේෂ්ඨව නැගෙති’යි යන අර්ත්‍ථයි. ශ්‍රේෂ්ඨ වූයේද ලෝකයෙහි ‘එක’ යනුවෙන් වහරනු ලැබේ. විතක්ක, විචාර යන දෙකින් තොරවූයේ හෝ අසහායයයි, ‘එක’ යයි කියනු වටී, නැතහොත්, (ස්පර්ශාදී) සම්ප්‍රයුක්ත ධර්මයන් උදා කරවති’යි උදී නමි, සිටුවාලයි යන අර්ත්‍ථයි, ශ්‍රේෂ්ඨාර්ත්‍ථයෙන් ‘එක’ වනුයේද එම උදී වනුයේද එමැයි එකොදී නමි. මේ සමාධියට අධිවචනයෙකි. මෙසේ මේ ‘එකොදි’ය වවනුයේ’යි, වඩනුයේ’යි මෙම ද්විතීය ධ්‍යානය ‘එකොදිභාව’ නමි. යම් හෙයකින් මෙම එකොදිභාවය සිත පිළිබඳ වූවක් මිස සත්ත්‍වයකු, ජීවියකු පිළිබඳ වූවක් නොවේද, එහෙයින් මෙය ‘චෙතසො එකොදිභාවං’ යයි කියනලදි.
මෙම ශ්‍රද්ධාව ප්‍රථම ධ්‍යානයෙහිද ඇත්තේ නොවේද? එකොදී නම් මෙම සමාධියද, එහි ඇත්තේ නොවේද? එසේ නම් කවර හෙයින් මේ ද්විතීය ධ්‍යානයම ‘සම්පසාදන’ නම්ද ‘චෙතසො එකොදිභාව’ නම්ද වෙති’යි කියන ලද්දේ ද? (මෙහි පරිභාර) කියනු ලැබේ. මේ ප්‍රථම ධ්‍යානය වූකලි විතක්ක විචාරයන්ගේ පැළඹීම හේතුකොටගෙන කුදුමහත් රළින් කැළඹි ජලයක් මෙන් සුපහන්වූයේ නොවේ, එහෙයින් ශ්‍රද්ධාව පැවතුණද ‘සම්පසාදන’ යයි නොකියන ලදි, සුපහන් නොවූ හෙයින්ම මේ ප්‍රථමධ්‍යාන සමාධිය මනාව ප්‍රකට නොවේ, එහෙයින් එකොදිභාව යයිද නොකියන ලදි. මේ ද්විතීය ධ්‍යානයෙහි වනාහි විතක්ක - විචාර පලිබෝධයෙන් තොරව ලද අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත් වේ. බලවත් ශ්‍රද්ධාවෙහි සහාය ලැබීමෙන්ම සමාධියද ප්‍රකට වේ. එහෙයින් මෙම ද්විතීය ධ්‍යානයම මෙසේ (සම්පසාදන නම්ද, එකොදිභාව නම්ද) වෙති’යි කියන ලදැයි දතයුතුය. විභංගයෙහි වනාහි, සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති යා චිත්තස්ස ඨිති -පෙ-සම්මා සමාධි’ සම්පසාදන යනු, යම් ශ්‍රද්ධාවක්, ඇදහීමක්, විශ්වාස බවක්, මනාපැහැදීමක් ඇද්ද, එයයි. ‘එකොදිභාව’ යනු, සිත පිළිබඳ මනා පිහිටීමෙක් ඇද්ද -පෙ-සම්‍යක් සමාධියෙක් ඇද්ද, එයයි) යනුවෙන් මෙපමණක් කියනලදි. මෙසේ මෙහි දක්වන ලද අර්ත්‍ථයෝජන හා සමග ගෙන මෙම අර්ත්‍ථ වර්ණනාව යම්සේ විරෝධ නොවේද, නිසැකයෙන්ම සැසඳේ ද, සමාන වේද එසේයයි දතයුතුය.