පඨමජ්ඣානකථා
මෙසේ නිමිත්තට අභිමුඛකොට සිත පිළිපදවන මේ යෝගාවචරයාහට දැන් අර්පණාව සමෘද්ධ වන්නේය. කෙසේදයත්, ‘පඨවී, පඨවී’ යන ආදී වශයෙන් එළඹ සිටි එම පඨවීකසිණය අරමුණුකොට භවංගචිත්තය සිඳගෙන මනොද්වාරාවජ්ජන සිත උපදින්නේය, ඉක්බිති එම අරමුණෙහිම ජවන් සිත් සතරෙක් හෝ පසෙක් දිවෙයි. එම ජවන් සිත් අතුරෙන් අවසන්හි උපදින සිත රූපාවචර වේ, සෙසු සිත් කාමාවචර වේ, පියවි කාමාවචර සිත්වලට වඩා රූපාවචර සිත ඉතා බලවත් වේ. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත වේ. අර්පණාවට පිරියම් වන හෙයින් පිරියම් සිත් යයිද කියනු ලැබේ. තවද යම්සේ ගම් ආදියට ආසන්න පෙදෙස ගාමොපචාරයයි නගරොපචාරයයි කියනු ලැබේද එසේම අර්පණාවට ආසන්න වූ හෙයින්, සමීපයෙහි හැසිරෙන හෙයින් උපචාරයයිද කියනු ලැබේ. මේ සිත් අතුරෙන් (තුන්වන ජවන් සිත) පෙරටු පිරියම් සිතටද මතුයෙහි අර්පණාවටද අනුලෝමවන හෙයින් අනුලෝමයයි වහරනු ලැබේ. මෙම ජවන් සිත් අතුරෙන් අන්තිම වූ යම් සිතක් වේද, එය පරිත්ත (හෙවත් කාමාවචර) ගොත්‍රය මැඩලන හෙයින්ද, මහත්ගත (හෙවත් රූපාවචර) සිත් වඩවන හෙයින්ද ගොත්‍රභූයයි කියනු ලැබේ.
මෙහි අවිශේෂයෙන් කියනලද දෙය ගැනීම් වශයෙන්ද, මෙහි පළමුවන ජවන් සිත පරිකර්ම නමි, දෙවැන්න උපචාර නමි, තෙවැන්න අනුලෝම නමි, සිවුවැන්න ගොත්‍රභූ නමි. නැතහොත් පළමුවැන්න උපචාර නමි, දෙවැන්න අනුලෝම නමි, තෙවැන්න ගොත්‍රභූ නමි, සිවුවැන්න හෝ පස්වැන්න අර්පණා වේ. එයද ඛිප්පාභිඤ්ඤ, දන්‍ධාභිඤ්ඤ (මහා අවබෝධ කරන, පමාවී අවබෝධ කරන) වශයෙන් වේ. එම (පස්වන) ජවනයෙන් පසු සවන සත්වන ජවනයෝ වෙති, ඉක්බිති භවාංගවාරය වේ.
ආභිධම්මික ගෝදත්ත තෙරණුවෝ වනාහි ‘පළමු පළමු කුශල ධර්මයෝ පසු පසු කුශලධර්මයනට ආසේවනප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’යි යන මේ සූත්‍රය කියා, ආසෙවනප්‍රත්‍යය වශයෙන් පසු පසු ධර්මයෝ බලවත් වෙති, එහෙයින් සවන සත්වන ජවන් සිත් තුළද අර්පණා සිද්ධ වෙති’යි කීහ. එය තෙරුන්ගේ මතිමාත්‍රයෙකැයි පවසා අට්ඨකථාවන්හි ප්‍රතික්‍ෂිප්තයි. සිවුවන පස්වන ජවනයන්හිදීම අර්පණා වේ, ඉන් මතු ජවනචිත්තයෝ පතිත (හෙවත් වැටුණාහු) නම් වෙති, භවංගයට ආසන්න බැවිනියි කියනලදි. එය මෙසේ විචාරණය කොට කියනලද හෙයින් පිළිකෙව් කළ නොහැකිය. යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ බිදුණු ඉවුරකට අභිමුඛව දුවනුයේ නවතිනු කැමැතියේ වුවද කෙළවර පය තබා නවතිනු නොහැකිව ප්‍රපාතයටම වැටේද, එසේම සවන හෝ සත්වන ජවනයන්හිදී අර්පණා ලැබිය නොහැකි වේ, භවංගයට ආසන්න වූ හෙයිනි. එහෙයින් සිවුවන පස්වන ජවනයන්හිදීම අර්පණා වෙතැ’යි දතයුතුය.
එම අර්පණාවද, එක් චිත්තක්‍ෂණයෙක්හිදීම සිද්ධ වන්නේය. සත් තැනෙක්හිදී චිත්තක්‍ෂණයන්ගේ සාමාන්‍ය කාලසීමාවෙක් නැත: පළමුවන අර්පණාවෙහි, ලෞකික අභිඥාවන් කෙරෙහි, සතර මග පිළිබඳ විෂයෙහි, සතර ඵල පිළිබඳ විෂයෙහි, රූපාරූප භවයන් පිළිබඳ භවාංග ධ්‍යානයෙහි, නිරෝධ සමාපත්තියට හේතු වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි, නිරෝධ සමාපත්තියෙන් නැගෙන්නහුගේ ඵල සමාපත්තියෙහිය යන මේ සත් තැනෙහිය. මෙහි මාර්ගයනට අනතුරුව එන ඵලය චිත්තක්‍ෂණ තුනකට වඩා නොවේ. නිරොධසමාපත්තියට හේතු වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය චිත්තක්‍ෂණ දෙකකට වඩා නොවේ. රූපාරූපභවයන් කෙරෙහි වූ චිත්තක්‍ෂණයන්ගේ පරිමාණයෙක් නැත. සෙසුතන්හි එක්ම සිතක් වන්නේය. මෙසේ අර්පණාව එකචිත්තක්‍ෂණිකම වේ. ඉක්බිති භවංගපාතය වන්නේය. ඉක්බිති භවාංගය සිඳගෙන ධ්‍යානය ප්‍රත්‍යවෙක්‍ෂා කරනු පිණිස මනොද්වාරා වර්ජනය වන්නේය. ඉක්බිති ධ්‍යානප්‍රත්‍යවෙක්‍ෂණය වන්නේය.
මෙතෙකින් වනාහි මේ යෝගී තෙමේ කාමයන්ගෙන් තොරව, අකුශල කර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් යුත් ප්‍රථම ධ්‍යානයට පැමිණ විහරණය කරන්නේය’ මෙසේ මොහු විසින් (කාමච්ඡන්‍දාදී) පංච අංගයෙන් විනිර්මුක්ත වූ (විතර්කාදී) පංච අංගයෙන් සමන්විත වූ, ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූ, දශ ලක්‍ෂණ සම්පන්න වූ පඨවි කසිණයෙන් නැඟුණ ප්‍රථම ධ්‍යානය අවබෝධ කරන ලද්දේ වේ.
එහි විවිච්චෙව කාමෙහි (කාමයන්ගෙන් තොරව) යනු, කාමයන්ගෙන් වෙන්ව, දුරුව, බැහැරව යන අර්ත්‍ථයි. මෙහි යම් මේ එව පදයෙක් (විවිච්ච+එව) ඇද්ද, එය අවධාරණර්ත්‍ථයෙහියයි දතයුතුය. යම්හෙයකින් එය නිශ්චයාර්ත්‍ථ ඇත්තේ වේද, එහෙයින් ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙන සමයෙහි අවිද්‍යාමානවූද කාමයන් ඒ ප්‍රථම ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ වනබවද, කාමයන් අත්හැරීමෙන්ම එම ධ්‍යානාධිගමය සිදුවන බවද හඟවයි.
කෙසේදයත්, විවිච්චචෙව කාමෙහි යනුවෙන් මෙසේ අවධාරණය කරනු ලබන කල්හි, ‘ඒකාන්තයෙන් මේ ධ්‍යානයට කාමයෝ ප්‍රතිපක්‍ෂ වන්නාහ, කාමයන් විද්‍යමාන කල්හි මෙය නොපවත්නේය.’ අන්‍ධකාරය ඇති තැන ප්‍රදීපාලෝකයක් නොපවත්නා සේය. එම කාමයන් අත් හැරීමෙන්ම මෙහි අධිගමය සිදුවේ; මෙතෙර හැර යාමෙන්ම එතෙරවීම සිදුවන්නා සේය. එහෙයින් නිශ්චය කෙරෙති’යි යන මෙය පැහැදිලිය.