නිමිත්තාභිමුඛපටිපාදනං
එහි අර්ත්‍ථ නිරූපණය මෙසේය, යම්සේ අතිදක්‍ෂ වූ මැස්සෙක් අසුවල් ගසෙහි මල් පිපී ගියේයයි දැන ඉතා වේගයෙන් පියා සලමින් එය වෙත යන්නේ එම ගස ඉක්මවා ගොස් පෙරළා එන්නේ රොන් අවසන් පසු පැමිණේ, අදක්‍ෂ වූ අනෙකෙක් මඳ ජවයෙන් පියා සලනුයේ රොන් අවසන් වූ පසු එය වෙත පැමිණේ, දක්‍ෂ වූ (අතිදක්‍ෂ හෝ අදක්‍ෂ නොවූ) අනෙකෙක් වනාහි සම වේගයෙන් පියා සලනුයේ මල් රැසක් වෙත සුවසේ හැසිරෙමින් කැමැතිතාක් රොන් ගෙන මීරස විඳින්නේ වේද,
තවද යම්සේ පැන් තලියෙහි මහනෙල් පත් බහා ශල්‍ය කර්ම උගන්නා ශල්‍ය වෛද්‍ය ශිෂ්‍යයන් අතුරෙන් එකෙක් අතිදක්‍ෂ වූයේ වේගයෙන් සැත් හෙලමින් මහනෙල්පත දෙකඩකොට සිඳලයි, නැතහොත් දියෙහි ගිල්වා ලයි, අදක්‍ෂ වූ අනෙකෙක් සිඳීයාදෝ දියෙහි ගිලේ දෝහෝයි බියෙන් සැත තබන්නට පවා නොසමත් වේ. දක්‍ෂ වූ (අතිදක්‍ෂ හෝ අදක්‍ෂ නොවූ) අනෙකෙක් තෙමේ සමකොට යෙදීමෙන් එහි සැත් පහර දක්වා පිරිසිදුව හුරුපුරුදු කළ ශිල්ප ඇත්තේ සුදුසු තන්හි සැත් කම් කොට ලාභ ලබන්නේද,
තවද යම්සේ, ‘යමෙක් තෙමේ සිවුබඹයක් තරම් මකුළු හුයක් ගෙන එන්නේ නම්, හේ තෙමේ සාරදහසක් ලබන්නේය’යි රජු විසින් ප්‍රකාශ කරන ලද කල්හි අතිදක්‍ෂ වූ එක් පුරුෂයෙක් යුහුව මකුළු හූ එකතු කරනුයේ තැනින් තැන සිඳලන්නේමය, අදක්‍ෂ වූ අනෙකෙක් සිඳීයාදෝයි බියෙන් අත තබන්නට පවා නොසමත් වෙයි, දක්‍ෂ වූයේ (අතිදක්‍ෂ හෝ අදක්‍ෂ නොවූයේ) වනාහි කොණක පටන් සමකොට යෙදීමෙන් දඬුවෙක ඔතාගත් මකුළු හූ ගෙනවුත් තෑගි ලබන්නේ වේද,
තවද යම්සේ අතිදක්‍ෂ වූ නියමුවා තදසුළඟෙහි රුවල් පුරා අදිමින් නැව විදේශයන්හි ගෙන යන්නේය. අදක්‍ෂ වූ අනෙකෙක් මඳ සුළඟෙහි පවා රුවල් නොබහා එතැනම රඳවන්නේය, දක්‍ෂ වූ (අතිදක්‍ෂ හෝ අදක්‍ෂ නොවූ) නියමු තෙමේ මඳ සුළග ඇති කල්හි රුවල් පුරා අදිමින් තද සුළඟ ඇති කල්හි අඩ රුවල් කරමින් නිරුපද්‍රැතව අභිමත ස්ථානයට නැව ගෙනයන්නේ වේද,
තවද යම්සේ ආචාර්යයන් විසින් ‘යමෙක් තෙල් නොවිසුරුවා නළ පුරවන්නේ නම් හේ තෑගි ලබන්නේය’යි ශිෂ්‍යයනට කී කල්හි, අතිදක්‍ෂ වූ එකෙක් ලාභයෙහි ගිජුව යුහුව පුරවන්නේ තෙල් විසුරුවයි, අදක්‍ෂ වූ අනෙකෙක් තෙල් විසිරෙති’යි බියෙන් නළ පුරවන්නට පවා නොහැකි වෙයි, දක්‍ෂ වූ (අතිදක්‍ෂ හෝ අදක්‍ෂ නොවූ) අනෙකෙක් තෙමේ සමව යෙදීමෙන් නළ පුරවා තෑගි ලබන්නේ වේද,
එසේම එක් භික්‍ෂු කෙනෙක් ප්‍රතිභාග නිමිත්ත උපන් කල ශීඝ්‍රයෙන් අර්පණාවට යෙමි’යි බලවත් සේ වීර්ය වඩති. අධිකව වඩනාලද වීර්ය ඇති හෙයින් ඔවුන්ගේ සිත නොසන්සුන් බවට හැරෙයි, අර්පණාවට පැමිණිය නොහැකි වෙයි. කෙනෙක් අධිකව වඩනාලද වීර්යයෙහි දොස් දැක, දැන්ම මට අර්පණාවෙන් කම් කිමැ’යි වීර්යය පිරිහෙවති, ඔහුගේ සිත ඉතා හැකුලුණ වීර්ය ඇති හෙයින් කුසීත බැව්හි වැටෙයි, අර්පණාවට පැමිණිය නොහැකි වෙයි. යම් කෙනෙක් වනාහි මඳ වශයෙන් හෝ හැකිලුණු සිත කුසීත බවින්ද, උද්ධත වූ සිත නොසන්සුන් බවින්ද මුදවා සමව යෙදීමෙන් (ප්‍රතිභාග) නිමිත්තට අභිමුඛව පවත්වන්නාහුද ඔහු අර්පණාවට පැමිණෙති, එබන්දකු විය යුතුය. මෙම අර්ත්‍ථය පිණිස ‘රෙණුම්හි උප්පලදලෙ’ හා (‘ලීන-උද්ධතභාවෙහි’ යන ආදී) මෙය කියන ලදි.
රෙණුම්හි උප්පලදලෙ සුත්තෙ නාවාය නාළියං
යථා මධුකරාදීනං පවත්ති සම්පවණ්ණිතා
ලීන-උද්ධතභාවෙහි මොචයිත්‍වාන සබ්බසො
එවං නිමිත්තාභිමුඛං මානසං පටිපාදයෙ ති
පඨමජ්ඣානකථා
මෙසේ නිමිත්තට අභිමුඛකොට සිත පිළිපදවන මේ යෝගාවචරයාහට දැන් අර්පණාව සමෘද්ධ වන්නේය. කෙසේදයත්, ‘පඨවී, පඨවී’ යන ආදී වශයෙන් එළඹ සිටි එම පඨවීකසිණය අරමුණුකොට භවංගචිත්තය සිඳගෙන මනොද්වාරාවජ්ජන සිත උපදින්නේය, ඉක්බිති එම අරමුණෙහිම ජවන් සිත් සතරෙක් හෝ පසෙක් දිවෙයි. එම ජවන් සිත් අතුරෙන් අවසන්හි උපදින සිත රූපාවචර වේ, සෙසු සිත් කාමාවචර වේ, පියවි කාමාවචර සිත්වලට වඩා රූපාවචර සිත ඉතා බලවත් වේ. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත වේ. අර්පණාවට පිරියම් වන හෙයින් පිරියම් සිත් යයිද කියනු ලැබේ. තවද යම්සේ ගම් ආදියට ආසන්න පෙදෙස ගාමොපචාරයයි නගරොපචාරයයි කියනු ලැබේද එසේම අර්පණාවට ආසන්න වූ හෙයින්, සමීපයෙහි හැසිරෙන හෙයින් උපචාරයයිද කියනු ලැබේ. මේ සිත් අතුරෙන් (තුන්වන ජවන් සිත) පෙරටු පිරියම් සිතටද මතුයෙහි අර්පණාවටද අනුලෝමවන හෙයින් අනුලෝමයයි වහරනු ලැබේ. මෙම ජවන් සිත් අතුරෙන් අන්තිම වූ යම් සිතක් වේද, එය පරිත්ත (හෙවත් කාමාවචර) ගොත්‍රය මැඩලන හෙයින්ද, මහත්ගත (හෙවත් රූපාවචර) සිත් වඩවන හෙයින්ද ගොත්‍රභූයයි කියනු ලැබේ.
මෙහි අවිශේෂයෙන් කියනලද දෙය ගැනීම් වශයෙන්ද, මෙහි පළමුවන ජවන් සිත පරිකර්ම නමි, දෙවැන්න උපචාර නමි, තෙවැන්න අනුලෝම නමි, සිවුවැන්න ගොත්‍රභූ නමි. නැතහොත් පළමුවැන්න උපචාර නමි, දෙවැන්න අනුලෝම නමි, තෙවැන්න ගොත්‍රභූ නමි, සිවුවැන්න හෝ පස්වැන්න අර්පණා වේ. එයද ඛිප්පාභිඤ්ඤ, දන්‍ධාභිඤ්ඤ (මහා අවබෝධ කරන, පමාවී අවබෝධ කරන) වශයෙන් වේ. එම (පස්වන) ජවනයෙන් පසු සවන සත්වන ජවනයෝ වෙති, ඉක්බිති භවාංගවාරය වේ.