දසවිධඅප්පනාකොසල්ලං
යමකුට වනාහි මෙසේ පිළිපදින විට පවා අර්පණා නො-උපදී නම්, ඔහු විසින් දශවිධ අර්පණා කුශලතාවන් සම්පාදනය කළයුතුය. ඒ පිළිබඳ ක්රමය මෙසේයි:- දශ ආකාරයෙකින් අර්පණා කුශලතාව අපේක්ෂා කටයුතුය. අභ්යන්තර බාහිර වස්තුන් පවිත්ර කරගැනීමෙන්, (ශ්රද්ධාදී) ඉන්ද්රියයන් සමබවට පත් කිරීමෙන්, (කසිණ ආදී) නිමිති කෙරෙහි කුශලතාවෙන්, සිත නඟා සිටුවිය යුතු තන්හි නඟා සිටුවීමෙන්, සිත ඔබා තැබියයුතු කල්හි ඔබා තැබීමෙන්, සිත පිනවිය යුතු තන්හි පිනවීමෙන්, සිත උපේක්ෂා කටයුතු තන්හි උපේක්ෂා කිරීමෙන්, අසමාහිත පුද්ගලයන් දුරු කිරීමෙන්, සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන් හා සමාධිය කෙරෙහි අභිලාෂ ඇති කරගැනීමෙනි.
එහි වත්ථුවිසදකිරියා (වස්තූන් පවිත්ර කිරීම) නම්, අභ්යන්තර බාහිර වස්තූන් පවිත්ර කිරීමයි. යම්කලෙක ඒ යෝගාචරයාගේ කෙස්, නිය, ලොම් දික්ව වැඩී ගියේනම්, සිරුර දහදියෙන් කිලිටිව ගියේ නම්, එකල ඒ අභ්යන්තර වස්තූන් අපවිත්ර වූයේය, අපිරිසිදු වූයේය. යම්කලෙක වනාහි සිවුරු දිරාපත්වූයේ, කිලිටිවූයේ, දුගඳවත් වූයේ නම්, සෙනස්න කසලින් ගැවසියේ නම්, එකල එම බාහිර වස්තූන් අපවිත්රව ගියේය, අපිරිසිදු වූයේය, අභ්යන්තර බාහිර වස්තූන් අපිරිසිදුවූ කල්හි උපදින චිත්ත චෛතසිකයන් කෙරෙහි වූ ඥානයද අපිරිසිදු වන්නේය, අපිරිසිදු වූ පහන් කබල්, වැටි, තෙල් නිසා උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙන් අපිරිසිදු වූ ඥානයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට සංස්කාරයෝ අප්රකාශ වන්නාහ, කමටහන්හි යෙදුණහුගේ කමටහනද වැඩීමට, බලවත් බවට, විපුල බවට නොයන්නේය. අභ්යන්තර බාහිර වස්තූන් පිරිසිදු වූ කල්හි උපදනා චිත්ත-චෛතසිකයන් කෙරෙහි වූ ඥානයද පිරිසිදු වන්නේය, පිරිසිදු වූ පහන් කබල්, වැටි, තෙල් නිසා උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙන් පිරිසිදු වූ ඥානයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට එම සංස්කාරයෝද ප්රකට වන්නාහ, කමටහන්හි යෙදුණහුගේ කමටහනද වැඩීමට, බලවත්බවට, විපුලබවට යන්නේය,
ඉන්ද්රියසමත්තපටිපාදනං (ඉන්ද්රියයන් සමබවට පත්කිරීම) නම්: ශ්රද්ධාදී ඉන්ද්රියයන්ගේ සමබව ඇතිකර ගැනීමයි. ඉදින් යෝගාවචරයාගේ සද්ධින්ද්රිය බලවත් වේනම්, සෙසු ඉන්ද්රියයෝ දුබල වෙත්නම්, ඒ හේතුවෙන් විරියින්ද්රිය සිත ඔසවා තැබීමේ කාර්යයද, සතින්ද්රිය වැටහීමේ කාර්යයද, සමාධින්ද්රිය එකඟ කිරීමේ කාර්යයද, පඤ්ඤින්ද්රිය යථාස්වභාවය දැකීමේ කාර්යයද ඉටුකරනු නොහැකි වන්නේය, එහෙයින් සද්ධින්ද්රිය ධර්මස්වභාවය ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ, යම් ආකාරයෙකින් මෙනෙහි කරන විට ඒ සද්ධින්ද්රිය බලවත් වේ නම්, එම ආකාරයෙන් මෙනෙහි නොකිරීමෙන් හෝ හෙළා තැබිය යුතුය. මෙහිලා වක්කලී තෙරුන්ගේ කතා පුවත නිදර්ශනයි. ඉදින් විරියින්ද්රිය බලවත් වුවහොත් සද්ධින්ද්රිය අධිෂ්ඨානමය කාර්යයද, සෙසු ඉන්ද්රියයෝ තම තමන්ගේ කාර්ය විශේෂයන්ද ඉටුකරනු නොහැකි වන්නාහුය. එහෙයින් ඒ විරියින්ද්රිය පස්සද්ධි (ලිහිල්) භාවනාවෙන් අඩු කළ යුතුය. එහිලා සෝණ තෙරුන්ගේ කතාපුවත දැක්විය යුතුය. මෙසේ සෙසු ඉන්ද්රියයන් පිළිබඳවද එක් ඉන්ද්රියයක් උත්සන්න වීමෙන් අනෙක් අනෙක් ඉන්ද්රියයන් තම තමන්ගේ කාර්යය ඉටුකිරීමට නොපොහොසත් වනබව දතයුතුය. මෙහිලා විශේෂයෙන් ශ්රද්ධා ප්රඥා යන දෙක්හිද සමාධි, වීර්ය යන දෙක්හිද සමබරබව අවධාරණය කෙරෙති, බලවත් ශ්රද්ධා ඇත්තේ නොදැන පහදිනසුලු වූයේ මඳ නුවණ ඇත්තේ නොතන්හි පහදියි, බලවත් ප්රඥා ඇත්තේ මඳ සැදැහැ ඇත්තේ, කෛරාටික බවට නැඹුරු වේ, බෙහෙතින් හටගත් රෝගයක් මෙන් පිළියෙම්කළ නොහැක්කේ වේ. (ශ්රද්ධා ප්රඥා යන) දෙක සමබර වීමෙන් සුදුසු තන්හිම පහදනේ වේ. බලවත් සමාධි ඇත්තේ මඳ වීර්ය ඇත්තේය, සමාධිය කුසීතබවට නැඹුරුවන හෙයින් කුසීතබව විසින් මඩිනු ලබන්නේය. බලවත් වී ඇත්තේ දුර්වල සමාධි ඇත්තේය, වීර්යය උද්ධච්චයට (අසහනයට) නැඹුරුවන හෙයින් උද්ධච්චය විසින් මඩිනු ලබන්නේය. සමාධිය වීර්යය හා සමග සමව යෙදුණ විට කුසීතබවට නොවැටෙන්නේය, වීර්යය සමාධිය සමග සමව යෙදුණවිට උද්ධච්චයට නොවැටෙන්නේය, එහෙයින් (සමාධි වීර්ය යන) දෙක සම කළයුතුය. මේ දෙක සම වීමෙන් අර්පණා උපදනේය. තවද සමාධි වඩන්නහුට බලවත්වූද ශ්රද්ධාව වටනේය, මෙසේ ඇදහිලි ඇත්තේ, භක්ති ඇත්තේ, අර්පණාවට පැමිණෙන්නේය. සමාධි ප්රඥා යන දෙක්හි වනාහි, සමාධි වඩන්නහුට බලවත් ඒකාග්රතාව වටනේය, මෙසේ හේ තෙමේ අර්පණාවට පැමිණේ, විපස්සනා වඩන්නහුට බලවත් ප්රඥාව වටනේය, මෙසේ හේ තෙමේ ලක්ෂණ ප්රතිවෙධයට පැමිණේ. සමාධි ප්රඥා යන දෙක්හි සමබවින්ද අර්පණා වන්නේමය. සතිය (සිහිය) වනාහි සියලු තන්හි බලවත්වීම වටනේය, සති හෙවත් සිහිය වනාහි සිත උද්ධච්ච පක්ෂයට මෙහෙයවන ශ්රද්ධා වීර්ය ප්රඥා යන මොවුන්ගේ වශයෙන් උද්ධච්චයට වැටීමෙන්ද, කුසීත පක්ෂයට මෙහෙයවන සමාධිය නිසා කුසීත බවට වැටීමෙන්ද වලක්වයි. එහෙයින් ඒ සතිය සියලු සූපයන්හි ලවණ ධූපනයක් (ලුණු තෙම්පරාදුවක්) මෙන්ද, සියලු රාජකෘත්යයෙහි සියලු කටයුතු භාර ඇමතියකු සෙයින්ද, සියලු තන්හි කැමැති විය යුතුය. එහෙයින් කීහ: සිහිය වනාහි භාග්යවතුන් වහන්සේ විසින් සියලු තන්හි කැමැති විය යුත්තේයයි වදාරන ලද්දේය, කවර හෙයින්ද? (කුසල් සිත වනාහි සිහිය පිළිසරණකොට ඇත්තේය. සිහිය වනාහි ආරක්ෂාව වැටහීම්කොට ඇත්තේය, සිහියෙන් තොරව සිත නැංවීම හෝ හෙලීම සිදු නොවේ’
නිමිත්තකොසල්ල (හෙවත් නිමිති කෙරෙහි කුශලතා) නම්, පඨවි කසිණ ආදීවූ සිත එකඟ කිරීම පිළිබඳ නිමිති කෙරෙහි නො-ඉපැදවුණු නිමිති ඉපැදවීමෙහිද, ඉපැදවුණු නිමිති වැඩීමෙහිද කුශලතාව හා භාවනාවෙන් ලද නිමිති රැකගැනීමේ කුශලතාවයි. ඒ රැකීමේ කුශලතාව මෙම නිමිති කුශලතාවෙහිලා අභිප්රේතයි.
යම් කලෙක සිත නංවා තැබිය යුතුවේනම්, එකල සිත නංවා තබයි, කෙසේදයත්, යම් කලෙක මෙම යෝගාවචරයාගේ සිත ඉතා ලිහිල් වීර්ය ඇති බව ආදිය හේතුකොටගෙන ලීන බවට යේ නම්, එකල පස්සද්ධි ආදී බොජ්ඣංග තුන නොවඩා ධම්මවිචය ආදී බොජ්ඣංග තුන වඩයි. කියන ලදමැයි භාග්යවතුන් වහන්සේ විසින්:
‘මහණෙනි යම්සේ පුරුෂයෙක් තෙමේ මඳගින්නක් මොලවනු කැමැතිවන්නේ තෙත් තණ පරඬල් බහාලන්නේ නම්, තෙත් ගොම බහාලන්නේ නම්, තෙත් දර බහාලන්නේ නම්, දියමුසු පවන් ගසන්නේ නම්, පස්ද ඉසින්නේ නම්, මහණෙනි, ඒ පුරුෂයා එම මඳගින්න මෙලවීමට හැකි වන්නේද?’ ‘ස්වාමීනි නොහැකි වන්නේමය. මහණෙනි, එසේම යම්විටෙක සිත හැකිලී ගියේනම්, එවිට පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට නොකල්ය, සමාධි-පෙ-නොකල්ය, උපෙක්ඛා පෙ-නොකල්ය, එයට හේතු කවරේද? මහණෙනි, සිත හැකිලී ගියේනම්, ඒ හැකිලී ගිය සිත මේ (පස්සද්ධි ආදී) බොජ්ඣංග ධර්මයන්ගෙන් නඟා සිටුවිය නොහැකිය, මහණෙනි, යම්විටෙක සිත හැකිලී ගියේනම් එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කල්ය, විරිය-පෙ-කල්ය, පීති සම්බොජ්ඣංගය වැඩීමට කල්ය, එයට හේතු කවරේද? මහණෙනි, සිත හැකිලී ගියේනම්, ඒ හැකිලී ගිය සිත මේ (ධම්මවිචය ආදීකොට ඇති) බොජ්ඣංග ධර්මයන් මඟින් පහසුවෙන් නඟා තැබිය හැකිය, මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙමේ මද ගින්නක් මොලවනු කැමැතිව වියලි තණ පරඬල් බහාලන්නේ නම්, වියලි ගොම, වියලි දර බහා ලන්නේ නම්, කටින් සුලන්ද පිඹින්නේ නම්, පස්ද නොඉසින්නේ නම්, මහණෙනි, ඒ පුරුෂ තෙමේ එම ගින්න මොලවනු හැකි වන්නේද? එසේය ස්වාමීනි,
මෙහිද තමතමන්ගේ ආහාර වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගාදිය වැඩීම දතයුතුය. කියනලද මැයි:
මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇත්තාහ, සාවද්ය අනවද්ය ධර්මයෝ ඇත්තාහ. හීන ප්රණීත ධර්මයෝ ඇත්තාහ. කෘෂ්ණ ශුක්ල ධර්මයෝ ඇත්තාහ, එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුලව වේනම්, මෙය නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපැදවීම පිණිස, උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීම පිණිස ආහාර වේ, එම ධම්මවිචය සම්බොජ්ඣංගය විපුල බවට යාම පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස පවත්නේය.