සත්තසප්පායා
එහි ප්රතිභාගනිමිත්ත රක්නා විධි මෙසේය:
ආවාසො ගොචරො භස්සං පුග්ගලො භොජනං උතු
ඉරියාපථො’ති සත්තෙතෙ අසප්පායෙ විවජ්ජයෙ
ඉරියාපථො’ති සත්තෙතෙ අසප්පායෙ විවජ්ජයෙ
සප්පායෙ සත්ත සෙවෙථ එවං හි පටිපජ්ජතො
න චිරෙනෙව කාලෙන හොති කස්සචි අප්පනා
න චිරෙනෙව කාලෙන හොති කස්සචි අප්පනා
ආවාසය, ගෝචරය, කථාය, පුද්ගලය, භෝජනය, ඍතුය, ඉරියවුය යන මේ සත පිළිබඳ අසප්පාය වූවන් දුරු කරන්නේය.
මේ සත, සප්පාය වූවන්ම සේවනය කරන්නේය, මෙසේ පිළිපදනා විට කිසිවකුට නොබෝ කලෙකින්ම අර්පණා සමාධිය උපදී.
එහිදී, යම් ආවාසයෙක්හි වසනවිට මොහුට නො-උපන් නිමිත්ත නො-උපදීනම්, උපන් නිමිත්ත හෝ නැසේනම්, නො-එළඹි සිහිය නොඑළඹේනම්, අසමාහිත සිත සමාහිත නොවේනම්, මේ ආවාසය අසප්පාය වේ. එහෙයින් යම් විහාරයෙක්හි බොහෝ ආවාස ඇත්නම්, එහි එක් එක් ආවාසයෙහි දින තුනක් බැගින් වැස යම් තැනෙකදි සිත එකඟ වේනම්, එහි විසිය යුතුය. ආවාසසප්පාය හේතුවෙන් තම්බපණ්ණි දිවයිනෙහි චූලාභය නම් ලෙණෙහි පන්සියයක් භික්ෂූහු එහිදීම කමටහන් ගෙන රහත් බවට පැමිණියාහුය. සෝවාන් ආදී පලයනට පත්වූද, අන් තැනෙකදී ආර්යභූමියට පිවිස එහිදී රහත් ඵලයට පත්වූද ජනයාගේ ගණනෙක් නැත. සිතුල්පවු විහාරාදී අන් තන්හිද මෙසේය.
ගොචරගාම - ගොදුරුගම වනාහි: යම් ගොදුරු ගමක් සෙනස්නෙන් කෝස එකහමාරක් (දුනු තුන්දහසක්) ඇතුළත, උතුරෙන් හෝ දකුණෙන්, නුදුරු තන්හි වෙතොත්, සුලභ භික්ෂා ඇතොත් එය සප්පාය වේ, නොඑසේ වෙතොත් අසප්පාය වේ.
භස්ස කතා කරන දෙය යනු: දෙතිස් තිරිසන් කථාවට අයත්වූයේ අසප්පාය වේ, එය නිමිති අතුරුදහන්වීම පිණිස පවතී, දශකථාවස්තු නිශ්රිත වූයේ සප්පාය වේ, එය වුවද පමණ දැන බිණිය යුතුය.
පුග්ගලො (පුද්ගලයාටද, තිරිසන් කථා නොකියන්නේද, ශීලාදී ගුණයෙන් යුතු වූයේද, යම් පුද්ගලයකු නිසා අසමාහිත සිත සමාහිත වේද, සමාහිත වූ සිත ස්ථීර වේද, මෙබඳු වූ පුද්ගලයා සප්පාය වේ, තිරිසන් කථා කියන, කය පුෂ්ටිමත් කොට දැඩි කිරීමෙහි නියැලි පුද්ගලයා අසප්පාය වේ. හේ වනාහි මඩවතුරක් පිවිතුරු ජලය කිලිටි කරන්නා සේ යෝගාවචරයා කිලිටි කරන්නේමය, එබදු පුද්ගලයකු හා ඇසුරට පැමිණීමෙන් කෝට නම් පව්වෙහි වැසි තරුණ භික්ෂුවගේ මෙන් සමාපත්තිය පවා නැසේ, නිමිති නස්නා බව කිවයුතු නොවේ.
භොජනං (භෝජනය) වනාහි කිසිවකුට පැණි රසද කිසිවකුට ඇඹුල් රසද සප්පාය වේ. උතු (සෘතු භේදය හෙවත් කාලගුණයද) කිසිවකුට ශීතද කිසිවකුට උෂ්ණයද සප්පාය වේ. එහෙයින් යම් බොජුනක් හෝ යම් කාලගුණයක් හෝ සෙවුනාහට පහසු වේනම්, අසමාහිත වූ සිත සමාහිත වේනම්, සමාහිත සිත හෝ ස්ථිර වේනම්, එම භෝජනයද එම කාලගුණයද සප්පාය වේ, එසේ නොවන භෝජනයද කාලගුණයද අසප්පාය වේ.
ඉරියාපථෙසු (ඉරියවු අතුරෙන්) ද: කිසිවකුට සක්මන් කිරීම සප්පාය වේ, කිසිවකුට වැද හෙවීම, සිටීම හෝ හිඳීම යන මෙයින් එකක් සප්පාය වේ. එහෙයින් ආවාස විෂයෙහිදී මෙන් ඉරියවුද තුන්දිනක් පිරික්සා, යම් ඉරියව්වෙක්හි අසමාහිත සිත සමාහිත වේනම්, සමාහිත වූ සිත හෝ ස්ථිර වේනම්, එය සප්පායැයිද අනෙක අසප්පායැයිද දතයුතුය.